Snow

{code type=codetype}{/code}

Monday, July 22, 2013

ජීවිතේ මගේ....



අද දවසම මම ගෙදරට වෙලා හිටියෙ කම්මැලිකමේ. වැඩ දෙකතුනකටම එලියට යන්ට හිතාගෙන හිටියත් යන්ට බැරිඋනා. මෙහෙට හිටු කියල වහිනවනේ. තාත්ත කීව දැන් මෙහෙත් නුවරඑළිය වගේ වෙලා කියල. වහින හින්ද එලියට යන්ට බැහැනෙ. දවසෙ වැඩි හරියක් ඉතින් Computer  එක ඉස්සරහ තමයි ඉතින්.

ෆිල්ම් තුනක් බැළුව අද දවසට. වෙන කරන්ට දේකුත් නැහැනෙ. ආ.... තව අළුත් වැඩක් පටන් ගත්ත මම. මේක සෑහෙන දවසක ඉඳල මගෙ හිතේ තිබුන දෙයක්. ඒත් ඒක අද තමයි කරන්ට පටන් ගත්තෙ. මමත් ෆිල්ම් එකකට Subtitles දාන්ට පටන් ගත්ත. Charley and the chocolate factory තමයි Film එක. මට ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ type කරන එක තමයි. Type කරන්ට කම්මැලිකම නැත්නම් ඉක්මනට වැඩේ කරල ඉවර කරගන්ට පුළුවන්. Subtitles දාල ඉවර උනාම Baiscopelk එකට දෙන්ටයි බලාපොරොත්තුව.  මම ෆිල්ම් එක වෙන් කරගෙන තියෙන්නෙ Subtitles දාන්ට. මමත් Baiscopelk.com එකෙන් සෑහෙන්ට Subtitles අරන් තියෙනවා. ඒක නිසා යම් පමණකින් හරි මේකට මමත් දායක වෙන්ටයි බලාපොරොත්තුව.

හෙට ආයෙ office යන්ට ඕන. දැන්නම් කම්මැලිත් හිතෙනවා දවස් දෙකක් ගෙදරට වෙලා ඉඳල office යන්ට. ඒත් ඉතින් නොගිහිනුත් බැහැනෙ. හී හී... ඒක නිසා හෙට උදේම නැගිටලා සාමාන්‍ය විදියටම වැඩ පටන් ගන්නවා. දැන් ඉතින් මම යන්ට ඕන නිදාගන්ට. ඔෆිස් ගියාම මහා මෙහෙයුමක් පටන් ගන්ට තියෙනවා. දැන් ඒක ගැන කියන්ට බෑ. හෙට ඒ ගැන පොඩි සටහනක් දාන්ට පුළුවන්.

Friday, July 19, 2013

කලකට පස්සේ...............!



ගොඩක් කාලෙකට පස්සේ Blog එක පැත්තට ආවෙ. පහුගිය ටිකේම මේක ලියන්ට හිතුනෙ නෑ මට. අන්තිම Post එක දැම්මෙ පහුගිය ජූනි දෙවෙනිද. මීට මාස එකහමාරකටත් කලින්. ලියන්ට අදහස්නම් ඕනතරම් මගෙ හිතේ තියෙනවා. ඒත් පහුගිය දවස්වල මට මේක ලියන්න තරම් හිතක් පහල උනේ නෑ. අද තමා ටිකක් ලියන්ට හිතුනෙ. මොනව උනත් කමක් නෑ. ඔන්න ඔහෙ හිතට එන ඕන මගුලක් ලියල දානව. නැතුව ඉතින් මම මේකෙ සිංහල, ඉතිහාසය, ආගම වගේ මොනව හරි විචාර එහෙමත් නැත්නම් සාහිත්‍යය ලියන්ටයැ. මම ලියන්නෙ මට හිතෙන දේ. ‍ Blog එකක ලියන්ට ඕනෙ මොනවද කියල මොකක් හරි නීතියක් නෑනෙ. නේද? හික්.. හික්...



අද ඔෆිස් එකේදි දුලානි අක්කට ඕන උනා Blog එක බලන්ට. ඒක නිසා තමයි අද මේ ආයෙමත් මෙහෙම ලියන්ට හිතුනෙ. නැත්නම් ගෙදර ආවට පස්සෙ කම්මැලි හිතෙනව Type කරන්ට ගියාම. ඔ‍ෆිස් එකේදිත් අපි කොච්චරවත් ලියුම් Type කරනවනෙ. ඒක නිසාමද මන් දන්නෙ  නෑ ගෙදර ආවම ලියුම් ටයිප් කරන්ට කම්මැලි හිතෙන්නෙ. ඒත් කමක් නෑ. දැන් ඉතින් ආයෙ පටන් ගත්තනෙ කෙටිල්ල. මම කීවෙ මේ අකුරු කෙටිල්ල ගැන. ඒක නිසා දිගටම මේ පුරුද්ද පවත්වාගෙන ගියාම හරි.



හැබැයි ඉතින් ගොඩක්ම මේ පැත්තෙ එන්ට වෙන්නෙ රෑට. ගෙදර ආවම තමා. ඔ‍ෆිස් එකේදිත් මොනවහරි කොටල දාන්ට බැරිකමක් නෑ. ඒත් ඉතින් වටපිට ඉන්න එවුන් ටික දැක්කොත් මම මේක කොටනව වසල හමාරයි. හී හී හී... අරකද...... මේකද.......... කෝකද..... කොහොමද....... කියල ප්‍රශ්න පත්තරේකට උත්තර බඳින්ට වේවි මට. (ප්‍රශ්න පත්තරේ කීවට ප්‍රශ්න හතරයි නොවැ තියෙන්නෙ. නෑ... නෑ... ඕව අස්සෙ තව ගොඩක් ප්‍රශ්න ඇදේවි අපේ ඔෆිස් එකේ ඉන්න ඇන්ටිල ටික මේක කොටනව දැක්කම.) Post එක දැම්මට පස්සෙනම් මොකා දැක්කත් මට කමක් නෑ. ඒත් ඉතින් මේක කොටන වෙලාවෙ කවුරුහරි දකිනකොටනම් ඉතින් මටත් නිකන් හිරිකිතයි වගේ............

Sunday, June 2, 2013

යක්ෂයාගේ මස්සිනා




තමන්ගෙ සැමියාගේ බීමත්කම පිළිබඳව කනස්සල්ලෙන් පසුවුනු එක්තරා කාන්තාවක් මිනිස්සුන්ගේ බේබදුකම නතර කිරීම පිළිබඳව ප්‍රසිද්ධ වෙලා හිටපු පූජකතුමෙක් හමුවීමට ගොස් පිළිසරණක් ඉල්ලා සිටියා.

මේ කාන්තාවගේ කතාව අසා සිටි පූජකවරයා අන්තිමේදි මෙහෙම කීවා.

මහත්තය ආයෙමත් බීල ගෙදර එන වෙලාවට ඔබ ඔබේ මුළු ශරීරයම වැහෙන්න සුදු රෙද්දක් පොරවා ගෙන මම තමයි යක්ෂයාකියල කෑගහල එයාව බය කරන්න”.

කාන්තාව මේ උපදෙස් හොඳින් හිතට ගත්ත වගේම අකුරටම ක්‍රියාත්මක කළා.

ඊළඟ දවසේ සැමියා හොඳටම වෙරි වෙලා වැනි වැනී ගෙදර ආවෙ මහරෑ ජාමෙ. යක්කු ගස් නගින බහින වෙලාව කියන්නෙත් මේවගේ වෙලාවට තමා. ඉතින් මේ කාන්තාව ලොකු සුදු රෙද්දකින් ඇඟ වසාගෙන එක පාරටම තමන්ගෙ සැමියා ඉදිරියට පැනලාබු හා... හා..... මම තමයි යක්ෂයාකියල කෑ ගැහුව.

හොඳටම බීල හිටපු මනුස්සයගෙ මූණ මහා හිනාවකින් ආලෝකමත් වෙලා ගියා. මිනිහා වහාම ඔහුගේ අත දිග හැර කාන්තාව දිහාට දික්කරා.

මස්සිනා......... දීපං අත.... උඹේ නංගිව බැඳල ඉන්නෙ මම තමයි...! වරෙන් යන්ට පොඩි ෂොට් එකක් දාලා එන්ටමහ හයියෙන් කෑගැහුව මනුස්සය සන්තෝසෙ ඉවස ගන්ට බැරුවද මන්ද සුදු රෙද්දෙන් සරුවාංගෙම වසාගෙන හිටපු තමන්ගෙ බිරිඳව බදාගත්තා..........!

Friday, May 31, 2013

පියඹා යනවා මා ආකාසයේ

මේ කතාව කොහොම පටන අරගෙන කොහොම ඉවර කරන්ටද කියල මට හිතාගන්ට බෑ. ඇත්තටම මම මොනවද කරන්නෙ මට වෙච්ච දේවල් වලට? මේ දේවල මටම වෙන්නෙ ඇයි කියල මටම හිතුන වාර අනන්තයි. ඒත් ඉතින් මගේ යාළුවො හත්අටදෙනෙකුගෙන් අහල බැලුවම උන් කියන්නෙ මේක බොහොම සාමාන්‍ය දෙයක් කියල. මටත් ඉතින් මේ වගේ දේවල් සාමාන්‍ය දෙයක් වේවි හැමදාම මෙහෙම උනොත්.....!

ඊයෙ රෑ එලිවෙනකොට, පහුගිය දවස්වල විවාහයක් ගැන මම තියාගෙන හිටපු බලාපොරොත්තු හිතෙන් අයින් කරල දාන්ට සිද්ද උනා. පහුගිය දවස් ටිකේම මෙහෙම දෙයක් වෙන්ටයි යන්නෙ කියල මට ‍දැනෙමිනුයි තිබුණෙ. ඒත් ඇත්තම කියනවනම් මටත් අර ළමයව (ඒ කියන්නෙ වෙන කවුරුත් නෙවෙයි. මගෙ වෙන්ට හිටපු හාමිනේ හරිද....) බලෙන් අල්ලල තියාගන්ට ඕන උනේ නෑ. ඇත්තටම බලෙන් අල්ලගන්ට අවශ්‍ය උනේ නෑ. එයා මගෙ ළගට වෙලා හිටිය. ඒත් අපි නොදැනුවත්වම වගේ ඒ සියළු ඇඳුනුම්කම්, සම්බන්ධකම් ඉවර කරල දාන්ට සිද්ද උනා මට. ඇත්තටම මම ඉවර කළා ඒක. මගෙ හිතේ තිබුණ තෙතමනය අන්තිම බින්දුවටම අයින් කරල තමයි එහෙම කලේ. නැතුව හැඟීමබර වෙලා මේ වගේ තීරණයක් ගන්ට බෑ මට.

මේක නැවැත්තුවා කියන වැරැද්දෙන් වැඩිහරියක් මගෙ තමයි. ඒත් මට එහෙම පියවරක් ගන්ට සිද්ද උනේ මගෙ වැරැද්දක් නිසා නෙවෙයි. මීට සති දෙකකට විතර කලින් එයා කියපු දේවල් තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා. ඒ ගැන හිතනකොටත් මට හරි අවුල්. ඒත් ඒ කියපු දේවල් ආයෙත් එයාට ඇදල ගන්ට බැහැ වගේම ඒකෙන් බිඳිච්ච මගෙ හිත මට ආයෙත් හදාගන්ට උවමනාවක් තිබුණෙ නැති නිසා. මොකද මට ඒ සිදුවීම සිද්ද උන පළවෙනි වතාව ඒක නොවන නිසා. මට ඒ අත්දැකීම කලිනුත් තිබුණ. ඒ නිසා වගෙම, ඒ වගේ හේතුවක් හින්ද ආයෙමත් දුක් විඳින්ට බලාපොරොත්තුවක් මට නොතිබුණ හින්දත් මේක අවසානයක් දකිනවනම් හොඳයි නේද කියල පුංචි සිතුවිල්ලක් මට ඇති වෙලයි තිබුණෙ. හ්ම්.. මොනව කරන්ටද  ඉතින්...

ඒත් ඉතින් ඒ සිතුවිල්ල යථාර්තයක් බවට පත්කරගන්ට මට උවමනාවක් තිබුණෙ නෑ. ඒක එහෙම උනේ අපි අතරෙ දිගින් දිගටම ගැටුම් ඇතිවෙන්ට පටන් ගත්ත නිසා වගෙම, එයා මගෙ අතීතය ගැන ඕනවට වඩා අවුස්සන්ට පටන්ගත්ත නිසා. මගේ අතීතය ගැන කියන්ට ඕන තරම්...... සමහරවිට ඕනෙවටත් වඩා මම එයාට කියල තියෙනවා ඉතින් එහෙම වෙලත් අපි දෙන්නගෙ සම්බන්ධෙ මේ තරම් ඉක්මනට බිඳිල යාවි කියල මම හිතුවෙ නෑ. ඒක හරියට කෝච්චියකට අහුවෙච්ච චීන මල් බඳුනක් වගේ සුනුවිසුණු වෙලා ගියා.

දැන් ඉතින් මම නිදහස්. හික් හික්...(පියඹා...... යනවා මා ආකාසයේ. අවසානයි ප්‍රේමාදරේ.)