මම අද උදේ වැඩට ගියේ රඹුක්කන ඉඳල එන පවර් සෙට් කෝච්චියේ. නමට පවර් සෙට් උනාට ඒකෙ කිසිම පවර් එකක් නැහැ. සෙමි එක්ස්ප්‍රස් ට්‍රේන් එකට රාගම ඉඳල කොටුවට එන්නම විනාඩි 45ක් විතර ගියා....... හිමින් ගියත් මේක ටික කාලෙක ඉඳන් පානදුරටම යන නිසා මේකෙ ඔෆිස් යන එක මට ලේසියි...
ට්‍රේන් එක කැළණියෙ නැවැත්තුවම වෙච්ච සිදුවීමක් නිසා මට පොඩි කතාවක් මතක් උනා. මේක ජාතක කතාවක් කියලත් මට පුංචි මතකයක් තියෙනව. (හරියටම දන්නෙ නෑ.) තව මේ සිද්ධියම ආශ්‍රය කරගත්තු සෙන් කතාවකුත් මම අහල තියෙනව. කොහොම නමුත් මේක හොඳ ආදර්ශමත් කතාවක්. (ජාතක කතා 550ක් තියෙනව කියල අහල තිබුනට ඒවා මොනවද කියල මමනම් දන්නෙ නෑ. ඒවගෙම සෙන් කතා ඇති උනේ කොහොමද කියලත් මන් දන්නෙ නෑ. සෙන් කතා වල බිහිවීම ජපානයේදී සිදුවී ඇති බවත්, ඒවයෙ විස්තර වන භික්ෂූන් මහායාන බෞද්ධ සම්ප්‍රදායන් ගුරුකරගනිමින් නිර්වාණාවබෝධය කරගැනීමට උත්සාහ දරන බවත් මම අහල තියෙනවා. ඒත් එක්කම මේ හැම භික්ෂුවක්ම බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බවකුත් මම අහල තියෙනව. ඇත්තද බොරුද මම දන්නෙ නෑ. ඇත්තටම එහෙම හැමෝටම බුදු වෙන්ට පුළුවනෑ.) හරි දැන් ඉතින් තවත් වැල්වටාරම් නැතුව කතාවට එමුකො. ජාතක කථාවක වගේ වර්තමාන කථාව මුලින්ම කියල අතීත කතාව පස්සෙ කියන එක හොඳයි..............
මෙන්න මේකයි සිද්ධිය..........
ඔන්න අපේ ට්‍රේන් එක රාගම ඉඳල ඉබි ගමනින් ඇවිත් දැම්ම අවුට්ලයින් එකට. ඊට පස්සෙ වේගය ටිකක් වැඩිකරගනිමින් ඉදිරියට ඇදිල හුනුපිටියෙ නැවැත්තුවට පස්සෙ හිමිහිට කැළණියට ළං උනා. මම අද ආවෙ අන්තිම පෙට්ටියට කලින් තියෙන පෙට්ටියෙ මැද දොරේ පාපුවරුවෙ.
කැලණිය ෆ්ලැට්ෆෝම් එක දිග මදි නිසා මම හිටපු තැන හරියටම පාර මැදට සෙට් උනා. කිහිපදෙනෙක් එතනින් බැහැල ගියාට පස්සෙ තදබදය තරමක් අඩු උන නිසා මමත් අතපය දිගැරල වඩා පහසු ඉරියව්වකට හිටගත්තා. තප්පර පහක් දහයක්වත් ගියෙ නෑ එතන හිටපු කෙනෙක් කෑගැහුව “අත දෙන්න අත දෙන්න” කියල. මමත් කලබල වෙලා බැලින්නම් කවුදෝ මන්ද ගෑනු පරාණයක් මගෙ දිහාට අත දික්කරන් ඉන්නව ට්‍රේන් එකට නැගගන්ට බැරුව. පවු දෙයියනේ.......! වයස 40-45 විතර ඇති. ටිකක් උස මහත හොඳ පෙනුමක් තියෙන කාන්තාවක්. බොහෝ දුරට රජයේ කාර්යාලයක රාජකාරියකට යන කෙනෙක් වගේ පෙනුම. එහා පැත්තෙ ෆ්ලැට්ෆෝම් එක තියෙද්දි මොන මගුලකට මෙහෙන් නගින්ට ආවද මන්ද. සමහරවිට එහා පැත්තට යන්ට වෙලාව මදි වෙන්ට ඇති. මමත් අත දික් කරල ඒ මනුස්සයව ඇදල ගත්ත උඩට. නැත්නම් ඉතින් මේ ගෑණි මහපාර මැද නොවැ. කලබල උන පාරට මොකක්හරි අනතුරක් වෙන්ටත් පුළුවන් ස්ථානයක් එතන.
කොහොමහරි මේ කාන්තාවත් මම හිටපු තැනින් ටිකක් පිටිපස්සට වෙලා එයාගෙ ගමන ගියා. මම මගෙ පාඩුවෙ මගෙ ගමන ගියා. හැබැයි මේ සිදුවීම නිසා අහල පහල හිටපු අයගෙ අවධානය ඉතාම සුළු කාලසීමාවකට මං දිහාට යොමු උනා. මේ කාන්තාව ට්‍රේන් එනකන් බැස්සෙ කොහෙන්ද මන්ද. කොටුවෙන් හරි මරදානෙන් හරි වෙන්‍ට ඇති. මට හරියට මතක නෑ......
වර්තමාන කතාව එතනනින් ඉවරයි. දැන් එමු අතීත කතාවට.........
ඔන්න බෞද්ධ භික්ෂූන් දෙනමක් පාරක් දිගේ වඩිනවා. ( මේ දෙන්නගෙ නම් මට මතක නෑ.) ඉතින් මේ වෙලාවෙ සෑහෙන තරම් තද වැස්සක් තිබුණ නිසා පාර මඩ සහිත තත්ත්වයකට පත්වෙමිනුයි තිබුණෙ. මේ භික්ෂූන් දෙදෙනා වඩිමින් හිටි පාරෙ ලොකු මඩ වළක් තිබුණා. ඔවුන්ට දක්නට ලැබුණා හොඳ ලස්සනට ඇඳපැළඳගෙන ඒ අසල සිටි රූමත් යුවතියක්. ඇයට ඒ මඩ වළ හරහා යන්න බැරිවයි බලාගෙන හිටියෙ.
මේක එක්තරා විදියක අනුවේදනීය තත්ත්වයක් වගේ.... මේ දවස්වල මේ වගේ වැඩක් උනානම් ඉතින් ඒ යුවතියට උසුළු විසුළු කරන්ට වගේම ඇයව මඩ වළට තල්ලු කරල දාන්ටත් උනන්දු වෙන අය සිටීවි. කොහොම උනත් ඒ කාලෙ එහෙම නෙවෙයි. ඉතින් අපේ භික්ෂූන් දෙන්නගෙන් එක භික්ෂූන් වහන්සෙ නමක් එක්වරම ඇය ඔසවා ගෙන ගෙනිහින් ඒ මඩ වළෙන් එහා පැත්තට යන්ට ඇයට උදවු කළා...........
අනිත් භික්ෂූන් වහන්සේ ඒ සිද්ධිය දැක්කෙ නෑ වාගේ ඉක්මනින් ඉදිරියට ගියා. එයාට ටිකක් කේන්ති ගිය වගෙයි පෙනුනෙ. අර යුවතියට උදවු කරපු භික්ෂුව ඒ වැඩේ අහවර කොරල බලන කොට කේන්ති ගිය භික්ෂුව හුඟක් දුර ගිහින්. උදවු කරපු භික්ෂුවත් අපහසුවෙන් උනත් තමන්ට හැකි පමණ වේගයෙන් ගිහින් තමන්ගෙ හිතවත් භික්ෂුවට එකතු උනා.......
භික්ෂූන් දෙදෙනා රාති‍්‍රයේ නවාතැන් ගත් පන්සලට යන තෙක්ම අර කේන්තියෙන් හිටපු භික්ෂුව අර යුවතියට උදවු කරපු භික්ෂූන් වහන්සෙ සමග කතාවෙන් වැළකී සිටියා. පන්සලට ගිහිව් ගමන් වෙහෙස නිවාගෙන අනිකුත් අවශේෂ කටයුතු අහවර වෙනකොට, අර කේන්ති ගිය භික්ෂුවට තවදුරටත් නිහඬතාවය රැකගන්ට බැරි උනා. “අපි හාමුදුරුවරු. සියළු දේ අතඇරල ශාසනේට ඇවිත් තියෙන්නෙ විමුක්තිය උදාකරගන්ට. ආසාවන් අතඇරල ඉන්න අපි වගේ අය කාන්තාවන් ළඟට යන්න හොඳ නෑ. ඒ කාන්තාවන් රූමත් වගේම තරුණ වයසෙ උදවිය උනාම උදවු කරන අවස්ථාවක් උනත් දුර දිග ගිහින් භයානක ප්‍රතිඵල අත්වෙන්ට පුළුවන්” උන්වහන්සෙ පවසා සිටිය. “ ඇත්තටම ඇයි ඔබ ඒ වගේ දෙයක් කළේ?” උන්වහන්සෙ අර උදවු කරපු භික්ෂුවගෙන් ඇහුවෙ හොඳටම තරහ ගිහින්........මේක අහපු අනිත් භික්ෂුව කරුණාවන්ත සිනහවක් පහල කලා. “මම නම් ඒ ගෑනු ළමයා එතැන තියලයි ආවා. ඒත්........ ඔබ වහන්සෙ තාම එයාව ඔසවගෙන ඉන්නවද?” උන්වහන්සෙ උත්තර දුන්නා.........
හරි. දැන් අතීත කතාව මෙතනින් ඉවර උනත්, ඇත්තටම මේ වගේ කතාවකින් අපිට ගන්ට පුළුවන් ආදර්ශ බොහොමයක් තියෙන බවයි මගේ අදහස. කරුණාවන්ත බව, පරෝපකාරය වගේම අනිත් අයගෙ අදහස් ඉවසා දරාගැනීමත් මේ කතාවෙ කියවෙන අදහස්. ඒ වගේම වැඩකට නැති විකාර අදහස් ඔවවෙ තියාගෙන ඉන්න එක මොන තරම් අර්ථ ශූන්‍යද කියලත් මේකෙන් පැහැදිලි කරල දෙනවා.ඉතින් අපිටත් අපේ ජීවිත අර්ථාන්විත කරගන්ට මේ වගේ කතා ලොකු උපකාරයක් කරන බව කිසිම විවාදයක් නැතුව පිළිගන්ට පුළුවන්.
No comments:
Post a Comment