Snow

{code type=codetype}{/code}

Saturday, March 30, 2013

ගීතයක මිහිර



දවස් දෙකකින් මේ පැත්තෙ එන්න බැරි උනේ වැඩ ටිකක් වැඩි උන නිසයි. අදත් මම Office එකට ඇවිත් ඉන්නෙ. වැඩ කරන අතරෙ කම්මැලිකමක් දැනුන නිසයි මේ පැත්තෙ මොකද වෙන්නෙ කියල බලල යන්ට හිතුනෙ. ඊයෙ ගෙදර යනකොට රෑ උනා නොවැ. ඒත් අද ටිකක් වේලාසනින් ගෙදර යන්ට හිතාගෙනයි හිටියෙ. ඒත් දෙයියනේ එක දිගට වැඩ කරගෙන කරගෙන යනකොට එපා වෙනවනෙ. ඒක නිසා දවල් මම වැඩ නවත්තල Film  එකකුත් බැලුව. ඒත් ටික වෙලාවක් යනකොට ඒකත් එපා උනා. ඒක නිසා Film ඉලන එක නවත්තල සින්දුවක් අහන අතරෙම තව වැඩ ටිකක් කරගත්ත. දැනුත් මම මේ සින්දුවක් අහන ගමන් තමයි මේක ලියන්නෙ.

දැන් මම අහන සින්දුව ටිකක් විවාදයට භාජනය උන සින්දුවක්. මේකෙ සංගීතය රංග දසනායක උන්නැහේගෙ. මේක ගායනා කරන්නෙ ඉන්දු මිහිරානි අමරනාත්. එයාගෙ කියල සලකන Photo එකක් තියෙනව මං ළඟ ඒත ඒක දාන්ට බෑනෙ මට අයිතිකාරියගෙ අවසරයක් නැතුව. (අවසර ගන්නෙ කොහොමද ඉතින් අදාල පුද්ගලයව වත් දන්නෙ නැතුව.) කොහොම උනත් මෙන්න මෙහෙමයි සින්දුව තියෙන්නෙ.

කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ
සඳ එළිය වගේ
සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ළපටි සිත මගේ
එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුණෙ ළඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ...

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
දිවි ගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නිතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේ

http://www.youtube.com/watch?v=1H9WydCtXwQ 
මේක හරි  ලයාන්විතයි. හොඳ අර්ථයක් තියෙනව වැරදි විදියට තේරුම් ගන්නෙ නැත්නම්. මේකෙ තියෙන වචන හිරියටම හරිද දන්නෙ නෑ. මට ඇහුන විදියට තමයි ලීවෙ. වැරදි තියේනම් ඉතින් දන්න කියන කෙනෙක් කියල දෙනවනම් හොඳයි.

Wednesday, March 27, 2013

රාජකාරිය අතරතුර...........



අද බදාදනේ. පුංචි ඉසිඹුවක් ලැබුණ අවස්ථාවක තමයි සටහනක් තියන්ට හිතුවෙ. රජයේ කාර්යාල වල වැඩ කරන අය ගැන දන්න උදවියටනම් අමුතුවෙන් කියන්ට ඕනෙ නෑ බදාදා දවස ගැන. විශේෂයෙන්ම මහජන අවශ්‍යතාවන් සඳහාම වෙන්වූ කාර්යාලයක්නම් ඉතින් බදාදට හුස්මක් ගන්ට බැරි තරම් වැඩ. මම රාජකාරිය කොරන්නෙත් ඉතින් ඒ වගේ මහජන කටයුතු කෙරෙන අංශෙක තමයි. ඒත් ඉතින් මහජනතාව විශාල ප්‍රමාණයක් මේකට එනව අඩුයි. ඒත් ඒ එන අයගෙ වැදගත් අවශ්‍යතාවයන් ගොඩක් ඉටුකරල දෙන්ට මමත් මගෙ සහෝදර කාර්ය මණ්ඩලයත් කැප වෙලා ඉන්නෙ. සමහර වෙලාවල් වලට නම් ඉතින් .........

අනේ මන්ද මිනිස්සු මොනව හිතාගෙන මෙහෙ එනවද කියල. සමහර අය ඉල්ලන දේවල් කරල දෙන්ට තියා ඒව ගැන හිතන්ටත් අමාරුයි. සමහර කාරණා වලට මැදිහත් වීමක් වෙන්ටම බෑ නොවැ. ඒත් ඉතින් ඕව මිනිස්සුන්ට කීවම වෙන්නෙ එයාල අපිට බැන බැන යන එක තමයි. කොහොම උනත් ඉතින් මම නම් හරි ආසයි අපි අතින් ඒ අයගෙ අවශ්‍යතාවයන් ඉටු උනාම මූණෙ මැවෙන හිනා මල් දකින්ට. මට නම් මගෙ වෘත්තිය ගැන උපරිමේටම තෘප්තිමත් වෙන්ට පුළුවන් ඒ වගේ අවස්ථාවක තමයි.




හ්ම්ම්...... ඔය ඉන්නෙ ඉතින් මම රාජකාරී කරන ස්ථානයේ තමයි. මේ දැන් මේ පින්තූරෙ මගේ Phone එකෙන් ගත්තෙ......

Tuesday, March 26, 2013

මගේ අදහස්


                ඔන්න මම ආවා ආයෙමත් වතාවක්. ඇත්තටම මෙහෙම බ්ලොග් එකක් පටන් ගත්තට මේකෙ මොනවගේ දෙයක් සටහන් කරනවද කියල මට නිශ්චිත අදහසක් නැහැ. හැබැයි ඉතින් නිශ්චිත අරමුණක් නැතුවම යන ගමනක් නෙමෙයි මේ. අපි හැමෝටම තම තමන්ට ආවේණික උන අරමුණු තියෙනවනෙ. මටත් ඒ වගේ අරමුණු, ඉලක්ක තියෙනවා. බ්ලොග් එකක ලියන්න සුදුසු දේවල් මොනවද, ලියන්න නුසුදුසු දේවල් මොනවද කියල මම දන්නෙත් නෑ. ඒ උනත් මගෙ හිතේ තියෙන ඕනම අදහසක් සටහන් කරන්න පුළුවන් කියල තමයි මම හිතන් ඉන්නෙ. මගෙ වැරදි තියෙනවනම් දන්න කියන අයගෙන් ඒව හදාගන්ට උපදෙස් ගන්නත් මම බොහොම කැමතියි. හැබැයි මම දරන මතවාද වෙනස් කරන්ට ටිකක් අමාරුයි කියල තමයි මං ගැන දන්න උදවිය නම් කියන්නෙ. ඒත් ඉතින් ඒ උදවියගෙ අදහස් උදහස් වෙනස් කරන්ටත් සෑහෙන්ට අමාරු බව මම අත්දැකීමෙන්ම දන්නවනෙ. මොනව කරන්ටද ඉතින්. ලෝකෙ හැටි ඔහොම තමා. පහු පහු වෙනකොට ඕව හරියාවි.

ඇත්තටම අන්තර්ජාලය භාවිතා කිරීම සම්බන්ධව මටත් සෑහෙන උනන්දුවක් තියෙනවා. ඉතින් අයාලෙ අතපත ගාන්ට පටන්ගත්ත කාලෙ තමයි බ්ලොග් එකක් හදන අදහස මට මුලින්ම ආවෙ. මම බ්ලොග් එක පටන්ගත්තෙ 2010 ඔක්තෝබර් වල. මගෙ profile එක බැළුවම ඒක දැනගන්ට පුළුවන්. ඒත් අනන්තවත් අදහස් මගෙ හිතේම තියාගෙන හිටිය මිසක් ඒ එකක්වත් බ්ලොග් එකේ සටහන් කරන්ට තරමේ උනන්දුවක් තිබුණෙ නෑ මට. මීට දවස් කීපයකට කලින් තමයි මට මේක යාවත් කාලීන කරන්ට අදහසක් ආවෙ. වැඩිකල් නොගිහින්ම ඒ අදහස ඵල දරල මට මේ විදියෙ සටහන් මගෙ බ්ලොග් එකට ඇතුලත් කරන්ට ලැබීම ගැන සතුටු වෙන්ට ඕන කාරණාවක්. ඉදිරියෙදි මට මගෙ හිතේ තියෙන දේවල් බ්ලොග් අවකාශෙ සැරිසරන මිතුරු මිතුරියො එක්ක හුවමාරු කරගන්ට ලැබේවි කියල මම හිතාගෙන ඉන්නවා.


ප්‍රථම හමුවීම

ආයුබෝවන් ඔබ සියළු දෙනාටම. නාමලක් උන මමත් අද ඉඳල බ්ලොග් අවකාශයේ ඔබ හමුවීමට එනවා. බ්ලොග් කරණයේ නියැලෙන සියළු දෙනා සමග අත්වැල් බැඳගෙන ඉදිරි කාලය තුල බ්ලොග් අවකාශය තුළ රැඳී සිටින්නයි මගේ අදහස.

ඒ වගේම මේ බ්ලොග් එක දැන් මේ විධියට පවත්වාගෙන යාම සඳහා උදව් උපකාර කළ කිහිපදෙනාට මගේ විශේෂ ස්තුතිය පුද කරන්ටත් මෙය අවස්ථාවක් කරගන්ට මම කැමතියි. අතේ ඇඟිලි ගානටත් වඩා අඩු නමුත් මෙහි නම් සඳහන් කළ නොහැකි ඒ සියළු දෙනාටම මම පෞද්ගලිකවත් ස්තුති කරල තියෙනවා. පසුකාලීනව අවශ්‍ය උනොත් එයාල කවුද කියල හඳුන්වා දීමක් කරන්ට පුළුවන්. සිංහල බ්ලොග් කලාව ප්‍රචාරය කිරීම සඳහා යම් පමණකින් හෝ දායක වීමට ලැබීම ගැන මට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් ඉදිරියේදී ගතවන කාලය තුල නැවත වතාවක් ඔබ හමුවන තුරු දැනට සමුගන්නම්...!!!