Snow

{code type=codetype}{/code}

Friday, May 31, 2013

පියඹා යනවා මා ආකාසයේ

මේ කතාව කොහොම පටන අරගෙන කොහොම ඉවර කරන්ටද කියල මට හිතාගන්ට බෑ. ඇත්තටම මම මොනවද කරන්නෙ මට වෙච්ච දේවල් වලට? මේ දේවල මටම වෙන්නෙ ඇයි කියල මටම හිතුන වාර අනන්තයි. ඒත් ඉතින් මගේ යාළුවො හත්අටදෙනෙකුගෙන් අහල බැලුවම උන් කියන්නෙ මේක බොහොම සාමාන්‍ය දෙයක් කියල. මටත් ඉතින් මේ වගේ දේවල් සාමාන්‍ය දෙයක් වේවි හැමදාම මෙහෙම උනොත්.....!

ඊයෙ රෑ එලිවෙනකොට, පහුගිය දවස්වල විවාහයක් ගැන මම තියාගෙන හිටපු බලාපොරොත්තු හිතෙන් අයින් කරල දාන්ට සිද්ද උනා. පහුගිය දවස් ටිකේම මෙහෙම දෙයක් වෙන්ටයි යන්නෙ කියල මට ‍දැනෙමිනුයි තිබුණෙ. ඒත් ඇත්තම කියනවනම් මටත් අර ළමයව (ඒ කියන්නෙ වෙන කවුරුත් නෙවෙයි. මගෙ වෙන්ට හිටපු හාමිනේ හරිද....) බලෙන් අල්ලල තියාගන්ට ඕන උනේ නෑ. ඇත්තටම බලෙන් අල්ලගන්ට අවශ්‍ය උනේ නෑ. එයා මගෙ ළගට වෙලා හිටිය. ඒත් අපි නොදැනුවත්වම වගේ ඒ සියළු ඇඳුනුම්කම්, සම්බන්ධකම් ඉවර කරල දාන්ට සිද්ද උනා මට. ඇත්තටම මම ඉවර කළා ඒක. මගෙ හිතේ තිබුණ තෙතමනය අන්තිම බින්දුවටම අයින් කරල තමයි එහෙම කලේ. නැතුව හැඟීමබර වෙලා මේ වගේ තීරණයක් ගන්ට බෑ මට.

මේක නැවැත්තුවා කියන වැරැද්දෙන් වැඩිහරියක් මගෙ තමයි. ඒත් මට එහෙම පියවරක් ගන්ට සිද්ද උනේ මගෙ වැරැද්දක් නිසා නෙවෙයි. මීට සති දෙකකට විතර කලින් එයා කියපු දේවල් තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා. ඒ ගැන හිතනකොටත් මට හරි අවුල්. ඒත් ඒ කියපු දේවල් ආයෙත් එයාට ඇදල ගන්ට බැහැ වගේම ඒකෙන් බිඳිච්ච මගෙ හිත මට ආයෙත් හදාගන්ට උවමනාවක් තිබුණෙ නැති නිසා. මොකද මට ඒ සිදුවීම සිද්ද උන පළවෙනි වතාව ඒක නොවන නිසා. මට ඒ අත්දැකීම කලිනුත් තිබුණ. ඒ නිසා වගෙම, ඒ වගේ හේතුවක් හින්ද ආයෙමත් දුක් විඳින්ට බලාපොරොත්තුවක් මට නොතිබුණ හින්දත් මේක අවසානයක් දකිනවනම් හොඳයි නේද කියල පුංචි සිතුවිල්ලක් මට ඇති වෙලයි තිබුණෙ. හ්ම්.. මොනව කරන්ටද  ඉතින්...

ඒත් ඉතින් ඒ සිතුවිල්ල යථාර්තයක් බවට පත්කරගන්ට මට උවමනාවක් තිබුණෙ නෑ. ඒක එහෙම උනේ අපි අතරෙ දිගින් දිගටම ගැටුම් ඇතිවෙන්ට පටන් ගත්ත නිසා වගෙම, එයා මගෙ අතීතය ගැන ඕනවට වඩා අවුස්සන්ට පටන්ගත්ත නිසා. මගේ අතීතය ගැන කියන්ට ඕන තරම්...... සමහරවිට ඕනෙවටත් වඩා මම එයාට කියල තියෙනවා ඉතින් එහෙම වෙලත් අපි දෙන්නගෙ සම්බන්ධෙ මේ තරම් ඉක්මනට බිඳිල යාවි කියල මම හිතුවෙ නෑ. ඒක හරියට කෝච්චියකට අහුවෙච්ච චීන මල් බඳුනක් වගේ සුනුවිසුණු වෙලා ගියා.

දැන් ඉතින් මම නිදහස්. හික් හික්...(පියඹා...... යනවා මා ආකාසයේ. අවසානයි ප්‍රේමාදරේ.)

Wednesday, May 29, 2013

මට ඔයා මගෙ පණ වගේ



මෙහෙම කීවෙ වෙන කවුරුවත් නොවෙයි.මගෙ වෙන්න හිටපු නෝනා... මොකක් වෙන්න හිටපු ?????????? ඔවු ඔවු එයා තමයි. ඒත් ඉතින් වෙන්න හිටපු කීවෙ ඇයි? අනේ මන් දන්නෙ නෑ. මේක මොන කරුමයක්ද කියල. මම කලින් වතාවල් වල කීවෙ වෙන්න ඉන්න කියල. ඒත් දැන් කියන්ට වෙලා තියෙන්නෙ වෙන්ට හිටපු කියල. මොකද ඒක දැන් 90% ක්ම කැඩිල බිදිල ඉවර නිසා. හෙට වෙනකොට ඒක හරියාවිද නැත්නම් ඉතිරි 10%ත් නැති වෙලා යාවිද කියල මම දන්නෙ නෑ. ඇත්තටම මටම හිතාගන්ට බැහැ හේතුව මොකක්ද කියල.

දැන් දවස් ගානක් තිස්සෙ පොඩියට ගිනි ඇවිලීගෙන ආව අපි අතරෙ. ඒත් ඉතින් අපි දෙන්නගෙන්ම කවුරු හරි මොනවහරි දෙයක් කරල ඒ ගින්න නිවාගත්ත. ඒත් මේ සැරේ ඇවිලිලි තියෙන්නෙ ආයෙ ලේසියෙන් නිවන්ට පුලුවන් ගින්නක් නෙවෙයි. ඔක්කොටම වැඩිය ප්‍රශ්නෙ මගෙ හිතුවක්කාරකම. මගෙ හිතුවක්කාරකම හරියට ඇවිලෙන ගින්නට පිදුරු වගේ. කවදාවත් හැදෙන්නෙ නෑ මමනම්. හැමදාම මට වෙන්නෙ මේ වගේ දේවල් තමා. අපේ අයිස් මල්ලි කියනව වගේ Same story. Different version තමයි වෙලා තියෙන්නෙ.

මේකට වගකියන්ට ඕන කවුද කියල හරියටම එක්කෙනෙක්ට‍ වරද පටවන්ට මගෙ හිත ඉඩ දෙන්නෙ නෑ. වරද අරයගෙ කියල ඇඟිල්ල දික්කරන්ටත් බෑ. ඒත් එහෙම කියල ඒ වරද මට බාරගන්ටත් බෑ. මේක අපි දෙන්නගෙ ලබා උපන් හැටි කියල ඉවසන්ටයි තියෙන්නෙ. (ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ.....). දැන් ඉතින් ‍මොනවහරි කරල මේක ආයෙ ගැටගහගන්ට බලනව. ඒත් ඉතින් ෂුවර් ම නෑ. වෙන දෙයක් උනාවෙ කියල ඉවසනව. ඉවසපන් පපුව ඉවසපන්.

ඉවසන දනා රුපු යුදයට ජය  කොඩිය
මෙය කිවු එකාගේ කට කෑවත්   මදිය
ඉවසපු නැති එකා හට බඩු හත   අටය
ඉවසන දනෝ අපි තවමත්  තනිකඩය

හික් හික් හිකිස්....... අපේ පරණ උදවිය මෙහෙම කියල තියෙන්නෙ කට කහනවට නොවෙයි නේද ඇත්තටම ඈ....

Wednesday, May 22, 2013

ජීවිතේ මගේ



ගොඩක් දවසකින් blog එක පැත්තෙ එන්ට බැරි උනා. අන්තිම පෝස්ට එක දාලා දවස් 17ක් මම හිතන්නෙ. අද ආවෙ ඒ පාලුව මකල දාලා මොනවහරි කොටල යන්ට කියල. මම දැන් ඉන්නෙ ඔෆිස් එකේ. කම්මැලි දවසක්. මේ ටිකේම එහෙම තමයි. හිතට කිසිම ෆිට් එකක් නෑ. මොනවහරි ලියන්ට ඕනෙ කියල හිතාගෙන හිටියත් මහා කම්මැලිකමක් දැනුන පහුගිය  දවස්වල.

ම් ම් ම්..... හිතට වගේම ඇඟටත් ඒ එපා උනු ගතිය දැනිලයි තිබුණෙ. පුංචි පුංචි අසනීප දෙක තුනක් හැදුන තමා. ඒවා ඒ තරම් ගණන් ගන්ට දේවල් ‍නොවුනට ඉතින් මටනම් ඉතින් විඳවල එපා උනා. ඔන්න මුලින්ම ඇහැට වැලි කැටයක් ගිහින් බෙහෙත් ගන්ට උනා. Eye hospital ගිහින් එන්ට උනේඇහැට ප්ලාස්ටරුත් දාගෙන. මටනම් හිතෙන විදියට.... (හිතෙන විදියට නෙමෙයි ඉතින් ඇත්තටම එහෙම තමා ) ඇහැට වැලි ගියෙ අර නුවර ගිහින් ආපු දවසෙ කෝච්චියෙ එනකොට. Foot board ගිය නිසා තමා. මටනම් මාර ආසාවක් තියෙන්නෙ high speed යන කෝච්චි වල foot board එකේ යන්ට.

ඊළඟට හැදුන කොන්දෙ අමාරුවක්. ඒකනම් ඉතින් ඒ හැටි ගණන් ගන්ට තරම් දෙයක් නෙවෙයි. ඒත් රෑට නිදාගන්ට ගියාම තමයි අමාරුව ටිකක් වැඩිපුර දැනෙන්නෙ. මොනව කරන්ටද ඉතින්. පෘෂ්ඨවංශිකයෙක් වීමේ වැරැද්ද තමයි නේද? හිකිස්........ මම Chordate වංශයේ Vertebrata උපවංශයට අයිති සතෙක්....

ඔන්න ඊළඟට හැදුන කන් කැක්කුම ආයෙත්.... ඒකනම් ඉතින් මගෙ අම්මෝ ආයෙ කියල වැඩක් නෑ. පන පිටින් අපායෙ වගේ තමා. අපායේ තප්පර.............................. ක් වගේ. ඒකත් තිබුණ සෑහෙන දවසක්. බොහොම අමාරුවෙන් හොඳ කරගත්තේ. ඒත් තාමත් කනකසන ගතියක් තියෙනවා. මම දන්නෙ නෑ මේක කවද හොඳ වේවිද කියල. ලෙඩේ හැදෙන එකේ ඉවරෙකුත් නෑ.  බෙහෙත් ගැනීමේ ඉවරෙකුත් නෑ.

ආයෙත් ඉතින් හෙම්බිරිස්සාව. මටනම් පෙන්නට බැරි ලෙඩේ තමා. අනිත් මොනව හැදුනත් ඉතින් ඉවසගෙන ඉන්ට පුළුවන්. මේකෙට තමා මගෙ ලේ පිච්චෙන්නෙ. !@$ ලේ ඉතින් ඇති පදම් තියෙනවනෙ මගෙ පිච්චෙන්ට කියල. හෙම්බිරිස්සාව හැදුනෙ නැති කෙනෙක් මේ ලෝකෙ ඉන්නව කියලනම් මම හිතන්නෙ නෑ. ඒ තරමට මේක සුලභ ලෙඩක්. මගේ ප්‍රතිශක්තිය දුර්වල හින්දද මන්ද නිතරම සෙම් අමාරු හැදෙනවා. හෙම්බිරිස්සාව හැදුනම නහය හිරවෙලා හුස්ම ගන්ට අමාරු වෙනවනෙ. අනිත් එක ලෙඩක් හින්දවත් නිවාඩු ගත්තෙ නැති මම හෙම්බිරිස්සාව හින්ද දවස් දෙකක් නිවාඩුත් ගත්ත... ඕං බලමුකො ඉතින් එකෙත් හැටි නේද?

මේව දකින එවුන් හිතයි ඉතින් මේකනම් මහා ලෙඩ වාට්ටුවක්නෙ කියල නේද????? ඔවු වොවු ඉතින් එහෙම තමා. අපිට ලෙඩ හැදෙනව තමයි. මේකට කරන්ට තිවයන්නෙ ඉස්පිරිතාලයක් ලඟින් ගෙයක් හදාගෙන ඒකෙම වැඩ කරන............ ම්ම්ම්ම කාවද ඈ........ දොස්තර නෝන කෙනෙක් (කවදාවත් වෙන්නෙ නැති දෙයක් හරිද.) හරි නර්ස් නෝනා කෙනෙක් හරි බැඳගන්න එක. හික්.. හික්.. මේව දැක්කොත් අපේ නෝනගෙන් ගුටි කන්ට වෙනවෝ.... ඒක නිසා මම යනවෝ.......


Monday, May 6, 2013

දෙයියෝ සාක්කි



දෙවියන් නැති දෙවොලක් ගැන අහල තියෙනවද? එහෙමත් නැත්නම් කපුවව තනිකරල, අසරණ කරල දෙයියො පැනල ගිය දෙවොලක් ගැන. හිකිස් . ඇත්තමයි මේ කියන්නෙ. මොනව???????? හිතාගන්ටවත් බැහැනෙ.... බොරු වෙන්ටැති... 

නෑ නෑ ඇත්ත අනේ.... ‍මේකයි කාරණේ.

සීනිගම දේවාලෙට හොරු පැනලලු......! මොකක්, ඔය ඇත්තමද? ඔව් අනේ. මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නෙ.

කවුරුත් අහල ඇති හික්කඩුව සීනිගම දේවාලෙ ගැන. මේක ඓතිහාසික දේවාලයක්. සීනිගම දේවාලෙ ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සොරුන්ට, අපරාධකරුවන්ට දඩුවම් දෙන්ට මිරිස් අඹරන්ට ක්‍රමයක් තියෙන නිසයි. ඉතින් හොරු ටිකක් ඇවිත් දේවාලෙ පඬුරු පෙට්ටිවල එකතු වී තිබුණ රුපියල් ලක්‍ෂ 05ක පමණ මුදලක් හොරකම් කරගෙන ගිහින් කියල තමයි ඊයෙ රටේම පැතුරුනු අළුත්ම නිව්ස් එක උනේ..

ඉතින් මේ දේවාලෙ භාරකාර කපු මහත්මය, මේ සිද්දිය ගැන මීටියාගොඩ පොලිසියට කරල තියෙනවා. (ඔව් ඔව්. පොලිසියට තමයි. අපේ රටේ පොලිසියට පැමිණිල්ලක් කරල වැඩක් නැහැ කියල ගොඩක් අය හිතුවට ඇත්ත ඒක නෙවෙයි. අපේ රටේ පොලිසිය බොහොම ශක්තිමත් දැන් හරිද? බොරුයි කියල හිතේනම් ඊයෙ නිව්ස් බලන එක හොඳයි.) 

දැන් ඉතින් අර කියාපු  පැමිණිල්ලෙන් පැවසෙන විදියටනම් පඬුරු පෙට්ටිවල එකතු වෙලා තිබුණු මුදල් ගණන් කරල ඒවා ආරක්‍ෂිතව තියන කාමරයක තබා තිබියදී, එම කාමරේට වහලයෙන් බැහැල තමයි මේ සොරකම කරල තියෙන්නෙ. (පුදුමයි. ඒත් ඇත්තයි. දෙයියනේ......... දෙයියන්ට පඬරු හැටියට දාපු මුදල් නේද මේ හොරකම් කරල තියෙන්නෙ?). හී හී හී. දෙයියො නිදි වෙන්ට ඇති ඒ වෙලාවෙ නේද?

මෙම ප්‍රදේශයේ පොලිස් මුරපොලක් තිබුණට සොරකම සිදු උන දවසෙ පොලිස් නිලධාරීන් කවුරුත් එහි සේවයේ යෙදී සිටියෙ නැහැ කියලත් දැනගන්ට ලැබෙනවා. ඒත් ඉතින් පොලිසිය කියන්නෙ මේ පඬුරු තබා ඇති කාමරය පිළිබඳ හොඳින් දන්නා අයෙකු විසින් සොරකම සැළසුම් කරන්නට ඇති බවයි.

දැන් අපි මේකට සැක කරන්ට ඕනෙ කාවද? මේ සල්ලි තියෙන තැන දන්න අය බොහොම සීමිත පිරිසක් වෙන්ට ඕනෙ. කපු මහත්තය, ගෝලයො. අහ්... තව ඉන්නවා. මේ දේවාලෙ වැඩ හිටිය කියන දෙවොල් දෙවි‍යො. ඉතින් අපි කාවද මේකට අල්ලන්නෙ හැබෑටම ඈ????

හ්ම්.... අපිට මේවගේ කතා වලින් තේරුම් ගන්ට පුළුවන් කාරණා කීපයක් තියෙනවා........

අපේ අසරණ මිනිස්සු දෙවියන් ලඟට ගිහින් දුක කියන්නෙ වෙන කරන්ටම දෙයක් නැති උනාම. තමන්ගෙ අසරණ කමට පිහිටක් සරණක් ලබාගන්ට හැකියාවක් නැති උනාම. ඉතින් අපේ මිනිස්සු ඒ වගේ දේකට යන්නෙ දේවාලෙට. මොනවහරි නැති උනාම ඒක දෙයියන්ට කියල හොයාගන්න. අපරාධකාරයන්ට දඬුවම් දෙන්ට.....  සීනිගම දේවාලෙ වරු තුනක් මිරිස් අඹරපුවම කරපු අපරාධ වලට දඬුවම් ෂුවර් කියලනෙ කියන්නෙ. ඉතින් දේවාලෙ කපුව දේවාලෙට අයිති මොනව හරි නැතිවුනාම පොලිසියට ගිහින්....  හොඳ වැඩේ. දැන් ඇත්තටම මෙතන වැඩකරු කවුද කියන එක මේ සිද්ධියෙන්ම පැහැදිලි වෙනවා. අපි දෙයියන්ගෙන් ඉල්ලනවා. දෙයියො පොලිසියෙන් ඉල්ලනවා. වැඩකරු පොලිසිය තමා. ඒකනෙ මම ඉස්සෙල්ල කීවෙ.....

ඉතින් මේ දේවාලෙ හාස්කම් කියල ජාතියක් තියේනම් ඇත්තටම..... ඔන්න දැන් තමයි හාස්කම් පෙන්නන්ට හොඳම අවස්ථාව. කපුරාලට තියෙන්නෙ ගිහින් හොඳ මිරිස් ටිකක් අඹරන්ට වරු තුනෙන් හොරු ටික දේවාලෙට බඩගාගෙන ඇවිත් පාපොච්ඡාරණය කරන්ට කියල. අනේ මෙහෙමත් ලෝකයක්....

මිථ්‍යාව පතුරවලා, ජනතාව බය කරල, ඒ මාර්ගයෙන් ජනතාවගේ සල්ලි ගසාකන මේ වගේ දේවාලවලට මෙහෙම වෙලා මදි. හොරුන්ට අපරාධකාරයන්ට දඬුවම් දෙන අසහාය, සර්ව බලධාරී දෙයියන්ට තමන්ගෙ සල්ලි හොරකම් කරපු හොරුන්ට දඬුවම් දෙන්ට බැරි මොකද? ඒකද පොලිසි ගියෙ? ඇත්තටම දෙයියො කියල කවුරු හරි ඉන්නවනම් ඒ උන්නාන්සෙට බැරිද හැබෑටම පොලිසි යන්ට? අර අසරණ කපුරාලව ඉස්සරහට දාන්නෙ නැතුව. මොකො සල්ලි කපුරාලගෙ නෙවෙයිනෙ. දෙයියන්ගෙනෙ...//./././. අර අසරණ දුප්පත් මිනිස්සු සල්ලි පූජා කොළේ දෙයියනට නේද???????

මේ ගැන හිතනකොට මේ වගේ බූරු දෙයියන්ට පූජා කරන සල්ලි වලින් බලුකපුටු දානයක් දුන්නනම් මීට හොඳයි කියල හිතෙන්නෙ නැද්ද? ඒක පිනක් මේ වගේ මිත්‍යා විශ්වාස පිටිපස්සෙ දුවනවට වඩා. මේව ජනතාව රවටල සල්ලි ගසාකන ක්‍රම විතරයි. ඇත්තටම මෙහෙම දෙයියෙක් ඉන්නවනම් සල්ලි ගන්නකම් බලාගෙන ඉන්නෙ නැතුව සල්ලි ගන්න වෙලාවෙම හොරාව ගස්බැඳල, දිමි ගොට්ටක් කාරිය ඇඟට දාලා පොලිසියට බාර දෙන්ටනෙ තිබුණෙ. සර්ව බලධාරී දෙයියො ඇයි එහෙම නොකළෙ කියන එක මටනම් මහා ප්‍රශ්නයක්.
ඉතින් තමන්ගෙ සල්ලි ටිකවත් බේරගන්ට බැරි දෙයියෙක් විශ්වාස කරගෙන, එයාගෙ පිහිට පතනවට වැඩිය හොඳ නැද්ද, “තමන් හිසට තම අතමය සෙවනැල්ල” කියල හිතාගෙන තම ශක්ති ප්‍රමාණයෙන් තමන්ගෙ දේවල් කරගන්න එක?

දෙවියන් නැති දෙවොලේ අසරණ වූ කපු මහතා....................... අනේ පවු අනේ. එයා ගැන හිතෙනකොටත් දුකයි මට...

Sunday, May 5, 2013

සුවඳ දැනී දැනී දැනෙනවා...................



අද හවස ඔෆිස් එකේදි වෙච්ච දෙයක් නිසා මගෙ හිතට ලොකු වේදනාවක් දැනුනා. අමතක කරන්ට උත්සාහ කරන නමුත් හැමදාම මම මතක් කරන මගේ අතීතය ආයෙමත් මට වද දෙන්ට පටන් ගත්ත. මෙතන වැරැද්ද වෙන කාගෙවත් නෙවෙයි..... එහෙනම් කාගෙද ඇත්තටම? මගෙම තමයි වැරැද්ද. මමම තමයි මගෙ ජීවිතේ වරද්ද ගත්තෙ. දැන් ඒක හදාගන්ට ඕනෙ වෙලා තියෙන්නෙත් මටමයි. ඒත් එක හදාගන්ට බැරි උනෙත් මටමමයි.

 මම දන්නවා මොන තරම් උත්සාහ කළත් ඒ වැරැද්ද දැන් අයෙමත් හදන්ට බැරි බව. කවමදාවත් ලං කරගන්ට බැරි විදියට එයා මගෙන් ඈත් වෙලා ගිහින් ඉවරයි. මම දන්නවා එයා කවදාවත් මාව හොයාගෙන එන්නෙ නැති බව. ඒත මට මගෙ හිත හදාගන්ට බෑ. මගෙ අතින් වෙච්ච වැරැද්දෙ විපාක අද මම විඳිනවා. විඳිනව නෙමෙයි වි‍‍ඳවනවා.............!


මුලු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි...
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුනු හැටි බලා දුක්වෙමි...

නිසංසල තැනකට වෙලා හඬන මගෙ ඇස් දෙක බලා
කියන්නකො දෙවියනේ මෙහෙවිත් කොහොම ඉන්නද ඉවසලා...
මගේ අතගෙන කනට ළංවී අනේ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද  සුදු නොසිතුවෙද මට දුක් ලැබේ යැයි...

නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
සිනසුණු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා...
එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙනකොට දුක දැනෙයි පවතින අපායක...

මෙහෙම ලෝකෙක ඉපදිලා සිතෙහි අදහස් සුන්වෙලා
මා උපන්නේ දුක් විඳින්නද දුක් අඳුරු මැද තනිවෙලා...
මුලු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුනු හැටි බලා දුක්වෙමි...

ජීවිතේ මගේ

ටික දවසකින් මේ පැත්තෙ එන්ට බැරි උනා. වෙන මොකක්වත් හින්ද නෙමෙයි කම්මැලිකම හින්ද. හැමදාම ඔෆිස් එකේදි Computer ඒක දිහා බලාගෙන තමයි අපි වැඩිහරියක් ඉන්නෙ. ඉතින් ගෙදර ආවමත් ඒක දිහා බලාගෙන ඉන්න එක ටිකක් කම්මැලි හිතෙන වැඩක්. අනිත් එක මම ගෙදර මගෙ computer එක පුටුවක් නැතුව ඇඳ උඩට වෙලා ඉඳගෙන පාවිච්චි කරන්ට පුළුවන් විදියට හදාගෙනනේ ඉන්නෙ. ඉතින් ඇඳ උඩට වෙලා මෙහෙම අකුරු කොටන එක සමහර වෙලාවට ටිකක් අමාරුයි.... මොකද ඒක අපි ෆිල්ම් එකක් බලනව හිරි එහෙම නැත්තන් ඉතින් ගේම් එකක් ගහනව වගේ නැහැනෙ.... ඇත්තම කියනවනම් විශේෂ ආතල් එකක් නැහැනෙ මෙහෙම කෙටිල්ලෙ. කොටන අයනම් දන්නව ඇති. නේද? හිකිස්.... හිනා යනව නෙමෙයි එනව ඉතින්.

අද මම ඔෆිස් ආව වැඩ ටිකක් කරන්ට හිතාගෙන. හිතුව වගේම සෑහෙන වැඩ ටිකක් ඉවර කරගත්තා..... වාව්. මරුනෙ. දැන් වැඩ නැතුව ඇති නේද කියලද හිතුනෙ. අපොයි නැතෝ........ වැඩනම් ඕනෙ තරම් තියෙනවෝ.. ඒත කරන්ට කම්මැලියි වගේ.... (මො‍කක් කීව දෙයියනේ මම කම්මැලි වෙලා. කොහොම හිටපු කොල්ලෙක්ද මේ. කවුරුහරි දැන ගත්තොත් වස ලැජ්ජාව).  ආයෙත් අළුත් වැඩක් පටන් ගන්ට බෑ දැන්. ඒකට වෙලාව මදි වගේ.

දැනට මේ ඇති. පස්සෙ වෙලාවක හිතුනොත් ඉතින් ආයෙ මොනවහරි ලියන්ට පුළුවන්.නැත්නම් වෙන දවසක ලියනවා. දැන් ඉතින් ගෙදදර යන වෙලාවත් හරියාගෙනයි එන්නෙ. මොකද ඉතින් මීට වඩා ලීවෙ නෑ කියල දණ්ඩ නීති සංග්‍රහයෙ වගන්තියක් අනුව මට අච්චු කොරන්ටයැ නේද?