Snow

{code type=codetype}{/code}

Monday, April 29, 2013

ගීතයක මිහිර 2


සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ....
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ...............

කදු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර.........
සයුරක් වී වැතිර නුබ සරැලි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එමි
ඉන්නවාද ඇහැර.........

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ....
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ...............

කඳුලක් ළඟට දුර තව දුරස් කළේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර.........
සෙනෙහස් සිහිනවර හැම සැබෑ කෙරූ සසර
නුඹ සඳකි රුවන් කුමුදු යායක් පුබුදු කළ
මා හදකල සුවඳ.........

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ....
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ...............

Wednesday, April 24, 2013

ජීවිතේ මගේ



අදනම් මහ කම්මැලි දවසක්. හරිහමන් වැඩක් තිබුනෙම නැහැ කරන්ට. පුරවැසියො ආවෙත් නෑනෙ අපිව හම්බවෙන්ට... මම කීවෙ මගෙ subject එකේ වැඩ වලට ආවෙ නෑ කියල. අනිත් අයගෙ ඒවටනම් එන්ට ඇති. ඒත් ඉතින් මම එහෙම එනවද කියල බලාගෙන හිටියෙ නෑ. අපි මේ පුරවැසියො එනකම් පෙරුම් පුර පුර ඉන්නෙ එයාලගෙ වැඩ කරල දෙන්ට. ඒත් දෙයියනේ මේ මිනිස්සුන්ට කිසිම ගණනක් නැහැනෙ අපි එයාලා වෙනුවෙන් ඇප කැප වෙලා ඉන්නෙ කියල.... මොකද මම කියන්නෙ නිකමට එකෙක් දෙන්නෙක් ඇවිත් අපිව බලල ගියානම් මොකද නේද???????????? අනේ හැබෑටම..................... මේ පුරවැසියොනම් ඉතින්.@$(&%(&^*D.... හී... හී... හී... අපි හරි දුකෙන් අප්පා පුරවැසියො නැතුව...

අද හවස මම off උනේ 7.30 ට. ලියුම් වගයක් තිබුණ තෝරන්ට. ඉතින් මම ඒ වැඩෙත් ඉවර කරලම ආවා. ‍එහෙම කළාම මට ලේසියි ඊළඟ දවසෙ වැඩ කරන්ට. හෙට උදේ කලින් ඇහැරුණොත් යනව Office එකට. එතකොට සෑහෙන්ට වැඩ ඉවර කරගන්ට පුළුවන්. ඒත් ඉතින් උදේ ඇහැරෙනව කියනකොටත් ඉතින්............ මගෙ අම්මේ.......... ඇ‍ඳෙන් නැගිටින්නෙ හරියට දඬු ක‍ඳේ ගහන්ට ඇදගෙන යනකොට වගේ තමයි. :-|| :-|| ඉස්සරනම් මම එහෙම නෑ. උදේ 4 වෙනකොට නැගිටිනවා. ඒත් දැන්නම් ඉතින් එහෙම නැගිටින එක මහ කම්මැලි වැඩක්.

සෑහෙන කාලෙකින් උදේට දිවුවෙ නෑනෙ. හෙට උදේට පුළුවන් උනොත් දුවනවා. මම දැන් ඉස්සරට වැඩිය මහතයි. මගෙ බරත් වැඩි වෙලා ක්ලෝග්‍රෑම් 4කින් විතර. :-))   ඒක අඩු කරගන්ට විදියක් නෑනෙ. මම දැන් කනවා වැඩිද මන්ද. හම්බකරන එකෙන් වැඩිහරියක් ඉතින් කෑමට තමා මමනම් වියදම් කරන්නෙ.

අද හවස මනීෂා E mail බලනව දැක්කා. ඉතින් මම පෙන්නුවා මගේ blog රාජයාව. එයාට පුදුමයි. මම මෙහෙම ලියනවද කියලත්. හික් හික්......... :-))  ඇත්තටම එයා හිතුවෙ මට මේ වගේ දෙයක් කරන්ට පුළුවන්ද කියලද දන්නෙ නෑ. ඇයි දෙයියනේ මේ වගේ හෑලි ලියන්ට ඉතින් අමුතු දක්ෂකමක් ඕනෙ කියලය. හෙටත් බලයිද දන්නෙ නෑ. අහ්.......... නෑ හෙට බලන එකක් නෑ. හෙට නිවාඩුනෙ. අනිද්දම බලයි. හැබැයි මම දන්න තරමින් එයාට ගෙදරදි අන්තර්ජාල පහසුකම් තියේ. කෙහොම හරි ඉතින් කවුරු බැලුවත් කමක් නෑ. මම ලියනව මට ඕනෙ දේ.

Monday, April 22, 2013

ගමන් ගිහින් එපා වීම



සෑහෙන දවසක් පෙරුම් පුරල අද ගියා මම නුවර.! ඒත් අපරාදෙ කියල හිතුන. වෙනද වගේ නෙවෙයි මගෙ හිතටයි ගතටයි දෙකටම කිසිම ෆිට් එකක් නෑ මේ ගිය ගමන ගැනනම්.... උදේ 5.30ට ගෙදරින් ගිය මම දවල් 2.30 වෙන්ටත් කලියෙන් නුවරත් ගිහින් දළදා මාළිගාවටත් ගිහින් ආයෙත් ට්‍රේන් එකේම ගෙදර ආව කියල හිතනකොටත් මටම පුදුමයි........................

වෙනදට එහෙම අවුලක් නෑ. මම හරිම ආසාවෙන් නුවර යන්නෙ මාළිගාවට ගිහින් එන්න. ඒත් අද දවස එමෙ පිටින්ම අවුල්. මේ අවුල් සහගත බවට මගේ හාමිනෙත් සෑහෙන දුරකට වග කියන්ට ඕනෙ. ඊයෙ දවස තිස්සෙම කෝල් කරපු හැම වතාවෙම වගේ තදින්ම කියා හිටියෙ මට යන්ට එපා කියල. එයාට එන්ට බැරි නිසා තමයි ඒ. අදත් මාළිගාවට යනකොට වගේම මාළිගාවෙන් එළියට බැහැපු හැටියෙම වගේ මම කතා කරපුවහම ඔලුව අවුල් වෙන තරමට විකාර අදහස් ටිකක් මගේ ඔලුවට දාපු එක තමා එයා කළේ.

මම එයාව එක්කන් යන්ට බැහැ කීවෙ එයාට විභාගෙ නිසා. විභාගෙ ඉවර උනාම ඕනෙ තැනක එක්කන් යන්නම් කියල කීවම මාත් එක්ක රණ්ඩු කරපු එක තමා වැඩේ........ මගෙ මූඩ් එක සම්පූර්ණයෙන්ම අවුල් කලානෙ මේ මනුස්සයා. මය යක්ෂාරූඪ වෙලා හිටියෙ. ගෙදර ආවට පස්සෙ ආවා කියල කීවෙත් නෑ මම තවම. මම දන්නෙ නෑ ඔහොම රණ්ඩු කරල කොහොම අපි පවුල් ජීවිතයක් ගෙවන්නද කියල. සමහර වෙලාවට බයත් හිතෙනව.....

අද මාළිගාව ඇතුලෙ හරියට සෙනග. පූජාව පටන් ගන්න වෙලාව හින්ද මාළිගාව පිරිල. මම පූජාව පටන් ගන්නකන් ඉඳල ආව. නවන කොහෙවත් ගියෙ නෑ ඉතින්. යන්ට තැන්නම් තියෙනව. ඒත් මට කිසි ආසාවක් දැනුනෙ නෑ යන්ට. මූලික අරමුණ වුනේ දළදා මාළිගාවට යන එකනෙ. ඒ අරමුණ විතරක් ඉෂ්ඨ කරගෙන උදේ 8.40 වෙනකොට නුවර ගිය මම, හරියටම පැය දෙකක් නුවර ඉඳල 10.40 ට්‍රේන් එකේ ආයෙමත් ආව.

ගෙදර ආපු ගමන් නාලා, කාල, බීල තමයි මේ කොටන්න පටන්ගත්තෙ. මම හාමත් වෙලා වගේ හිටියෙ උදේ ඉඳල හරිහමන් කෑමක් නැතුව. උදේට කෑවෙ මාළුපාන් එකකුයි රෝල්ස් එකකුයි. මයිලෝ එකකුත් බීව. ඒ ඇරුණම මාලිගාවෙදි බීපු වතුර ටික විතරයි ගෙදර එනකන්ම. මට එපා වෙලා හිටියෙ.

දැන්නම් මට හොඳටම නිදිමතයි. ඊටත් වඩා මහන්සියිනෙ. ඒක නිසා ටිකක් නිදාගන්ටයි හිතුවෙ. ඒත් ඉතින් වැඩි වෙලාවක් නිදාගන්ට වෙන එකක් නෑ වගේ. අම්මගෙ දූත මෙහවරකට යන්ට වෙලානෙ මට. එහොම තමයි ඉතින් ගෙදර එකම පුතා උනාම. කොටි වල්ගෙ අල්ලගත්ත වගේ තමයි.

Saturday, April 20, 2013

ඒබ්‍රහම් ලින්කන් හෙවත් පිසාච දඩයම්කරු




 ඊයෙ රෑ මම බැලුවා මරු ෆිල්ම් එකක්.  Abraham Lincoln: Vampire Hunter (2012). කාලෙකින් බලන්ට හම්බුන හොඳ ෆිල්ම් එකක්. මේක ඇක්ෂන් ෆිල්ම් එකක් වගේම Horror film එකකුත් වෙනවා.... මම කොහොමත් ඒ වගේ කතා තේමාවන් වලට කැමතියි.... මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 2012 ජූනි මාසයේ 20 වෙනිදා. නමුත් මට මේක බාගන්ට හම්බුනේ මීට මාසෙකට විතර කලින්. ඒත් විවේකී විදියට බලන්ට තරම් වෙලාවක් හම්බුනේ නෑ. මේකෙ කථා වස්තුවෙ සත්‍ය අසත්‍යතාවය හොයනවට වැඩිය බලල රසවිඳින එක හොඳයි.
IMDB දත්ත වලට අනුව නරඹන්නන් 73,805ක් ලබාදුන් ඡන්දයන්ට අනුව මේකට 6/10  ක ලකුනු ප්‍රමාණයක් හම්බවෙලා තියෙනවා. ඇත්තටම හොඳ ලකුනු ප්‍රමාණයක්. මේක බලන්ට පටන් ගන්නකොටම මගෙ ඔලුවට ආවෙ ඇමෙරිකාවේ දහසයවෙනි ජනාධිපතිවරයා උන ඒබ්‍රහම් ලින්කන් වැම්පයර් දඩයම් කරුවෙක් උනේ කොහොමද කියල. ඔහුගෙ වැම්පයර් දඩයම් කරන ජීවිතේ අවශේෂ සමාජයෙන් සඟවාගෙන දෙබිඩි ජීවිතයක් ගත කරපු කෙනෙක් විදියට තමා Film එකෙන් හැඟවෙන්නෙ. ඒක ෆිල්ම් එක බලාගෙන යද්දි කතාව හොඳට තේරුම් ගන්ට පුළුවන්. මේකෙ කථා කාලය විනාඩි 105ක් වෙනවා.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Timur Bekmambetov විසින්. ඒ වගේම ඔහු සම නිෂ්පාදනයටත් දායක වෙලා. (අනේ ඇත්තටම දක්ෂකමේ තරම නේද?) Seth Grahame-Smith විසින් මේකෙ කතාව ලියල තියෙන්නෙ තමන් විසින්ම ලියපු නවකතාවක් පාදක කරගෙන.
මේකෙ ප්‍රධාන චරිත උන Abraham Lincoln විදියට Benjamin Walker කියන නළුවත්, Henry Sturges විදියට Dominic Cooper කියන නළුවත්, Will Johnson විදියට Anthony Mackie කියන නළුවත්, Mary Todd විදියට Elizabeth Winstead කියන නිලියත් ඉතා හොඳ චරිත නිරූපණයක යෙදෙනවා.

මේකෙ කතාව කෙටියෙන් කියනවනම් මෙහෙමයි......

සාමාන්‍ය පවුලක උපන් Abraham Lincoln කුඩා කාලෙදි, ඔහුගේ මව පිසාචයෙක් හපා කෑම නිසා මිය යනවා. කුඩා Abraham Lincoln මේ සිද්දිය දකිනවා. ඔහු අධිෂ්ඨාන කරනවා තම මව මැරූ වැම්පයර්වරයා කෙදිනක හෝ මරා දමන බවට. ඉතින් තරුණ වියට එළඹුනු Lincoln තම මව මැරූ වැම්පයර්වරයා මරාදැමීමට උත්සහ කරද්දී, ලොකු අනතුරකට පත්ව මරණය අබියසටම පැමිණෙනවා. ඔහුව ඒකෙන් බේරගන්නෙ Henry Sturges නැමැති  “මිනිසාවිසිනුයි.  Abraham Lincolnගේ අධිෂ්ඨානය ගැන සතුටු වෙන Henry පිසාචයින් දඩයම් කිරීම සම්බන්ධ සියළුම රහස් .  Lincolnඋගන්නනවා. ඊටත් පසුව Lincoln කරන්නේ Henry විසින් නම් කරනු ලබන සියළුම වැම්පයර්වරුන් මරා දැමීමයි.....

මේක හොදම දේ කියන්නේ ඔවුන් වැම්පයර්වරු මරාදාන්ට උත්සාහ කරන්නේ රිදී ආලේප කරන ලද පොරවකින් වීමයි. අපි දන්න සාමාන්‍ය වැම්පයර් කතාවන්ට අනුව ඔවුන් මැරෙන්නේ පපුවට පිහියකින් ඇනීමෙන්. ඒත් මේකෙ වෙනම විදියක් තියෙන්නේ............... කතාව බලද්දි හොඳින් තේරුම් යන දෙයක් තමයි ඇමරිකානු සමාජය පුරාම මනුෂ්‍ය වේශයෙන් විවිධ වැම්පයර්වරු ජීවත්වන බව. ඔවුන් කල්යල් බලල, හොඳම අවස්ථාවන්වලදී සාමාන්‍ය මනුෂයයන්ව ගොදුරු කරගන්නවා.

ඉතින් Lincoln මේ ක්‍රියා අතරෙදි කඩයක වැඩ කරන ගමන් නීතීඥයෙකු වෙන්ටත් ඉගෙන ගන්නවා. ඔහුගෙ අනාගත සහකාරිය වෙන Mary Todd හමුවන්නෙත් මේ කඩේ ඉන්දෙදිමයි. හොඳින් අධ්‍යාපනය ලබල තමන්ගෙ කථාවෙන් මිනිස්සු වශීකරගන්න Lincoln දේශපාලනයට පිවිසීමෙන් අනතුරුව ක්‍රමයෙන් ඉහල ගිහින් නතර වෙන්නෙ ඇමෙරිකාවේ දහසයවෙනි ජනාධිපතිවරයා වීමෙනුත් පසුවයි.... මෙහිදී ඔහුට තම වැම්පයර් දඩයම තාවකාලිකව නවත්තන්ට වෙන අතරෙදි Mary Todd හා ඔහුගෙ විවාහයත් සිදුවෙනවා..... මේ අතරෙදි ඔහුට දැනගන්ට ලැබෙනවා වැම්පයර්වරු මරාදමන්ට තමන්ව උනන්දු කරවපු Henry Sturges කියන්නෙත් වැම්පයර්වරයෙක් බව. මෙහිදි ඔවුන් අතරෙදි සිදුවන බහින්බස් වීමකින් අනතුරුව Henry කියන්නෙ මිනිස්සු මරා දැමීමට පෙළඹීමක් නැති හොද වැම්පයර්වරයෙක් බව Lincoln තේරුම් ගන්නවා. (එහෙම අය ඉන්නවද කියන එක තමා ඉතින් ඇත්තටම ප්‍රශ්නෙ. අපි අපේ යාලු භූතයෙක් වන Casper සිතින් මවාගෙන Henry කියන්නෙ හොඳ වැම්පයර් කෙනෙක් කියල හිතමුකො. කෙහොමහරි අන්තිමේ ඒ කතාව ඇත්තක් වෙනවා.)






කොහොමහරි අන්තිමේදී ජීවිත කාලය මුළුල්ලේ තමන්ගෙ සිහිනය වෙන, ඇමෙරිකාවේ වහල් වෙළදාම නැවැත්වීමට දරන උත්සාහය Lincoln සාර්ථක කරගන්නවා. ඒ අස්සේ ඔහු තමන්ගෙ පුංචි පුතාගෙ ජීවිතය පවා මේ වෙනුවෙන් කැප කරලා, දරුණු සටනකින් අනතුරුව වැම්පයර්ලාගෙන් සහය ලබන කැරලිකරුවන් පරාජය කරලා මිනිස් ප්‍රජාවට වැම්පයර් භීතියකින් තොර සමාජයක ජීවත් වෙන්ට අවස්ථාව සලසලා දෙනවා.


ඇත්තටම මේ වගේ දේශපාලකයින් තමා අද අපේ රටටත් වැඩි වශයෙන් අවශ්‍ය කර තිබෙන්නේ. එත් අනේ මන් දන්නෙ නෑ මොන අවාසනාවක්ද කියල, එහෙම තමන්ගෙ රටටත් ජනතාවටත් ආදරේ කරන දේශපාලකයින් අපේ රටේ දක්නට ලැබෙන්නෙ ඉතාම ස්වල්පයයි. (මේව මතක් වෙකොට ඡන්දෙ ඉල්ලන්ට හිතෙනවා අප්පා.)