ඊයෙ රෑ මම බැලුවා මරු ෆිල්ම් එකක්. Abraham Lincoln: Vampire Hunter (2012). කාලෙකින් බලන්ට හම්බුන හොඳ ෆිල්ම් එකක්. මේක ඇක්ෂන් ෆිල්ම් එකක් වගේම Horror film එකකුත් වෙනවා.... මම කොහොමත් ඒ වගේ කතා තේමාවන් වලට කැමතියි.... මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 2012 ජූනි මාසයේ 20 වෙනිදා. නමුත් මට මේක බාගන්ට හම්බුනේ මීට මාසෙකට විතර කලින්. ඒත් විවේකී විදියට බලන්ට තරම් වෙලාවක් හම්බුනේ නෑ. මේකෙ කථා වස්තුවෙ සත්‍ය අසත්‍යතාවය හොයනවට වැඩිය බලල රසවිඳින එක හොඳයි.
IMDB දත්ත වලට අනුව නරඹන්නන් 73,805ක් ලබාදුන් ඡන්දයන්ට අනුව මේකට 6/10 ක ලකුනු ප්‍රමාණයක් හම්බවෙලා තියෙනවා. ඇත්තටම හොඳ ලකුනු ප්‍රමාණයක්. මේක බලන්ට පටන් ගන්නකොටම මගෙ ඔලුවට ආවෙ ඇමෙරිකාවේ දහසයවෙනි ජනාධිපතිවරයා උන ඒබ්‍රහම් ලින්කන් වැම්පයර් දඩයම් කරුවෙක් උනේ කොහොමද කියල. ඔහුගෙ වැම්පයර් දඩයම් කරන ජීවිතේ අවශේෂ සමාජයෙන් සඟවාගෙන දෙබිඩි ජීවිතයක් ගත කරපු කෙනෙක් විදියට තමා Film එකෙන් හැඟවෙන්නෙ. ඒක ෆිල්ම් එක බලාගෙන යද්දි කතාව හොඳට තේරුම් ගන්ට පුළුවන්. මේකෙ කථා කාලය විනාඩි 105ක් වෙනවා.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Timur Bekmambetov විසින්. ඒ වගේම ඔහු සම නිෂ්පාදනයටත් දායක වෙලා. (අනේ ඇත්තටම දක්ෂකමේ තරම නේද?) Seth Grahame-Smith විසින් මේකෙ කතාව ලියල තියෙන්නෙ තමන් විසින්ම ලියපු නවකතාවක් පාදක කරගෙන.මේකෙ ප්‍රධාන චරිත උන Abraham Lincoln විදියට Benjamin Walker කියන නළුවත්, Henry Sturges විදියට Dominic Cooper කියන නළුවත්, Will Johnson විදියට Anthony Mackie කියන නළුවත්, Mary Todd විදියට Elizabeth Winstead කියන නිලියත් ඉතා හොඳ චරිත නිරූපණයක යෙදෙනවා.මේකෙ කතාව කෙටියෙන් කියනවනම් මෙහෙමයි......සාමාන්‍ය පවුලක උපන් Abraham Lincoln කුඩා කාලෙදි, ඔහුගේ මව පිසාචයෙක් හපා කෑම නිසා මිය යනවා. කුඩා Abraham Lincoln මේ සිද්දිය දකිනවා. ඔහු අධිෂ්ඨාන කරනවා තම මව මැරූ වැම්පයර්වරයා කෙදිනක හෝ මරා දමන බවට. ඉතින් තරුණ වියට එළඹුනු Lincoln තම මව මැරූ වැම්පයර්වරයා මරාදැමීමට උත්සහ කරද්දී, ලොකු අනතුරකට පත්ව මරණය අබියසටම පැමිණෙනවා. ඔහුව ඒකෙන් බේරගන්නෙ Henry Sturges නැමැති “මිනිසා” විසිනුයි. Abraham Lincolnගේ අධිෂ්ඨානය ගැන සතුටු වෙන Henry පිසාචයින් දඩයම් කිරීම සම්බන්ධ සියළුම රහස් . Lincolnට උගන්නනවා. ඊටත් පසුව Lincoln කරන්නේ Henry විසින් නම් කරනු ලබන සියළුම වැම්පයර්වරුන් මරා දැමීමයි.....මේක හොදම දේ කියන්නේ ඔවුන් වැම්පයර්වරු මරාදාන්ට උත්සාහ කරන්නේ රිදී ආලේප කරන ලද පොරවකින් වීමයි. අපි දන්න සාමාන්‍ය වැම්පයර් කතාවන්ට අනුව ඔවුන් මැරෙන්නේ පපුවට පිහියකින් ඇනීමෙන්. ඒත් මේකෙ වෙනම විදියක් තියෙන්නේ............... කතාව බලද්දි හොඳින් තේරුම් යන දෙයක් තමයි ඇමරිකානු සමාජය පුරාම මනුෂ්‍ය වේශයෙන් විවිධ වැම්පයර්වරු ජීවත්වන බව. ඔවුන් කල්යල් බලල, හොඳම අවස්ථාවන්වලදී සාමාන්‍ය මනුෂයයන්ව ගොදුරු කරගන්නවා.ඉතින් Lincoln මේ ක්‍රියා අතරෙදි කඩයක වැඩ කරන ගමන් නීතීඥයෙකු වෙන්ටත් ඉගෙන ගන්නවා. ඔහුගෙ අනාගත සහකාරිය වෙන Mary Todd හමුවන්නෙත් මේ කඩේ ඉන්දෙදිමයි. හොඳින් අධ්‍යාපනය ලබල තමන්ගෙ කථාවෙන් මිනිස්සු වශීකරගන්න Lincoln දේශපාලනයට පිවිසීමෙන් අනතුරුව ක්‍රමයෙන් ඉහල ගිහින් නතර වෙන්නෙ ඇමෙරිකාවේ දහසයවෙනි ජනාධිපතිවරයා වීමෙනුත් පසුවයි.... මෙහිදී ඔහුට තම වැම්පයර් දඩයම තාවකාලිකව නවත්තන්ට වෙන අතරෙදි Mary Todd හා ඔහුගෙ විවාහයත් සිදුවෙනවා..... මේ අතරෙදි ඔහුට දැනගන්ට ලැබෙනවා වැම්පයර්වරු මරාදමන්ට තමන්ව උනන්දු කරවපු Henry Sturges කියන්නෙත් වැම්පයර්වරයෙක් බව. මෙහිදි ඔවුන් අතරෙදි සිදුවන බහින්බස් වීමකින් අනතුරුව Henry කියන්නෙ මිනිස්සු මරා දැමීමට පෙළඹීමක් නැති හොද වැම්පයර්වරයෙක් බව Lincoln තේරුම් ගන්නවා. (එහෙම අය ඉන්නවද කියන එක තමා ඉතින් ඇත්තටම ප්‍රශ්නෙ. අපි අපේ යාලු භූතයෙක් වන Casper සිතින් මවාගෙන Henry කියන්නෙ හොඳ වැම්පයර් කෙනෙක් කියල හිතමුකො. කෙහොමහරි අන්තිමේ ඒ කතාව ඇත්තක් වෙනවා.)
කොහොමහරි අන්තිමේදී ජීවිත කාලය මුළුල්ලේ තමන්ගෙ සිහිනය වෙන, ඇමෙරිකාවේ වහල් වෙළදාම නැවැත්වීමට දරන උත්සාහය Lincoln සාර්ථක කරගන්නවා. ඒ අස්සේ ඔහු තමන්ගෙ පුංචි පුතාගෙ ජීවිතය පවා මේ වෙනුවෙන් කැප කරලා, දරුණු සටනකින් අනතුරුව වැම්පයර්ලාගෙන් සහය ලබන කැරලිකරුවන් පරාජය කරලා මිනිස් ප්‍රජාවට වැම්පයර් භීතියකින් තොර සමාජයක ජීවත් වෙන්ට අවස්ථාව සලසලා දෙනවා.
ඇත්තටම මේ වගේ දේශපාලකයින් තමා අද අපේ රටටත් වැඩි වශයෙන් අවශ්‍ය කර තිබෙන්නේ. එත් අනේ මන් දන්නෙ නෑ මොන අවාසනාවක්ද කියල, එහෙම තමන්ගෙ රටටත් ජනතාවටත් ආදරේ කරන දේශපාලකයින් අපේ රටේ දක්නට ලැබෙන්නෙ ඉතාම ස්වල්පයයි. (මේව මතක් වෙකොට ඡන්දෙ ඉල්ලන්ට හිතෙනවා අප්පා.)


No comments:
Post a Comment