Snow

{code type=codetype}{/code}

Friday, April 19, 2013

සෙන් කතාවක් සමග තවත් කතාවක්



මම අද උදේ වැඩට ගියේ රඹුක්කන ඉඳල එන පවර් සෙට් කෝච්චියේ. නමට පවර් සෙට් උනාට ඒකෙ කිසිම පවර් එකක් නැහැ. සෙමි එක්ස්ප්‍රස් ට්‍රේන් එකට රාගම ඉඳල කොටුවට එන්නම විනාඩි 45ක් විතර ගියා....... හිමින් ගියත් මේක ටික කාලෙක ඉඳන් පානදුරටම යන නිසා මේකෙ ඔ‍ෆිස් යන එක මට ලේසියි...

 ට්‍රේන් එක කැළණියෙ නැවැත්තුවම වෙච්ච සිදුවීමක් නිසා මට පොඩි කතාවක් මතක් උනා. මේක ජාතක කතාවක් කියලත් මට පුංචි මතකයක් තියෙනව. (හරියටම දන්නෙ නෑ.) තව මේ සිද්ධියම ආශ්‍රය කරගත්තු සෙන් කතාවකුත් මම අහල තියෙනව. කොහොම නමුත් මේක හොඳ ආදර්ශමත් කතාවක්. (ජාතක කතා 550ක් තියෙනව කියල අහල තිබුනට ඒවා මොනවද කියල මමනම් දන්නෙ නෑ. ඒවගෙම සෙන් කතා ඇති උනේ කොහොමද කියලත් මන් දන්නෙ නෑ. සෙන් කතා වල බිහිවීම ජපානයේදී සිදුවී ඇති බවත්, ඒවයෙ විස්තර වන භික්ෂූන් මහායාන බෞද්ධ සම්ප්‍රදායන් ගුරුකරගනිමින් නිර්වාණාවබෝධය කරගැනීමට උත්සාහ දරන බවත් මම අහල තියෙනවා. ඒත් එක්කම මේ හැම භික්ෂුවක්ම බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බවකුත් මම අහල තියෙනව. ඇත්තද බොරුද මම දන්නෙ නෑ. ඇත්තටම එහෙම හැමෝටම බුදු වෙන්ට පුළුවනෑ.) හරි දැන් ඉතින් තවත් වැල්වටාරම් නැතුව කතාවට එමුකො. ජාතක කථාවක වගේ වර්තමාන කථාව මුලින්ම කියල අතීත කතාව පස්සෙ කියන එක හොඳයි..............

 මෙන්න මේකයි සිද්ධිය..........

             ඔන්න අපේ ට්‍රේන් එක රාගම ඉඳල ඉබි ගමනින් ඇවිත් දැම්ම අවුට්ලයින් එකට. ඊට පස්සෙ වේගය ටිකක් වැඩිකරගනිමින් ඉදිරියට ඇදිල හුනුපිටියෙ නැවැත්තුවට පස්සෙ හිමිහිට කැළණියට ළං උනා. ‍මම අද ආවෙ අන්තිම පෙට්ටියට කලින් තියෙන පෙට්ටියෙ මැද දොරේ පාපුවරුවෙ.

 කැලණිය ෆ්ලැට්ෆෝම් එක දිග මදි නිසා මම හිටපු තැන හරියටම පාර මැදට සෙට් උනා. කිහිපදෙනෙක් එතනින් බැහැල ගියාට පස්සෙ තදබදය තරමක් අඩු උන නිසා මමත් අතපය දිගැරල වඩා පහසු ඉරියව්වකට හිටගත්තා. තප්පර පහක් දහයක්වත් ගියෙ නෑ එතන හිටපු කෙනෙක් කෑගැහුව “අත දෙන්න අත දෙන්න” කියල. මමත් කලබල වෙලා බැලින්නම් කවුදෝ මන්ද ගෑනු පරාණයක් මගෙ දිහාට අත දික්කරන් ඉන්නව ට්‍රේන් එකට නැගගන්ට බැරුව. පවු දෙයියනේ.......!  වයස 40-45 විතර ඇති. ටිකක් උස මහත හොඳ පෙනුමක් තියෙන කාන්තාවක්. බොහෝ දුරට රජයේ කාර්යාලයක රාජකාරියකට යන කෙනෙක් වගේ පෙනුම. එහා පැත්තෙ ෆ්ලැට්ෆෝම් එක තියෙද්දි මොන මගුලකට මෙහෙන් නගින්ට ආවද මන්ද. සමහරවිට එහා පැත්තට යන්ට වෙලාව මදි වෙන්ට ඇති.  මමත් අත දික් කරල ඒ මනුස්සයව ඇදල ගත්ත උඩට. නැත්නම් ඉතින් මේ ගෑණි මහපාර මැද නොවැ. කලබල උන පාරට මොකක්හරි අනතුරක් වෙන්ටත් පුළුවන් ස්ථානයක් එතන.

 කොහොමහරි මේ කාන්තාවත් මම හිටපු තැනින් ටිකක් පිටිපස්සට වෙලා එයාගෙ ගමන ගියා. මම මගෙ පාඩුවෙ මගෙ ගමන ගියා. හැබැයි මේ සිදුවීම නිසා අහල පහල හිටපු අයගෙ අවධානය ඉතාම සුළු කාලසීමාවකට මං දිහාට යොමු උනා. මේ කාන්තාව ට්‍රේන් එනකන් බැස්සෙ කොහෙන්ද මන්ද. කොටුවෙන් හරි මරදානෙන් හරි වෙන්‍ට ඇති. මට හරියට මතක නෑ......

 වර්තමාන කතාව එතනනින් ඉවරයි. දැන් එමු අතීත කතාවට.........



 ඔන්න බෞද්ධ භික්ෂූන් දෙනමක් පාරක් දිගේ වඩිනවා. ( මේ දෙන්නගෙ නම් මට මතක නෑ.) ඉතින් මේ වෙලාවෙ සෑහෙන තරම් තද වැස්සක් තිබුණ නිසා පාර මඩ සහිත තත්ත්වයකට පත්වෙමිනුයි තිබුණෙ. මේ භික්ෂූන් දෙදෙනා වඩිමින් හිටි පාරෙ ලොකු මඩ වළක් තිබුණා. ඔවුන්ට දක්නට ලැබුණා හොඳ ලස්සනට ඇඳපැළඳගෙන ඒ අසල සිටි රූමත් යුවතියක්. ඇයට ඒ මඩ වළ හරහා යන්න බැරිවයි බලාගෙන හිටියෙ.
 මේක එක්තරා විදියක අනුවේදනීය තත්ත්වයක් වගේ.... මේ දවස්වල මේ වගේ වැඩක් උනානම් ඉතින් ඒ යුවතියට උසුළු විසුළු කරන්ට වගේම ඇයව මඩ වළට තල්ලු කරල දාන්ටත් උනන්දු වෙන අය සිටීවි. කොහොම උනත් ඒ කාලෙ එහෙම නෙවෙයි. ඉතින් අපේ භික්ෂූන් දෙන්නගෙන් එක භික්ෂූන් වහන්සෙ නමක් එක්වරම ඇය ඔසවා ගෙන ගෙනිහින් ඒ මඩ වළෙන් එහා පැත්තට යන්ට ඇයට උදවු කළා...........

 අනිත් භික්ෂූන් වහන්සේ ඒ සිද්ධිය දැක්කෙ නෑ වාගේ ඉක්මනින් ඉදිරියට ගියා. එයාට ටිකක් කේන්ති ගිය වගෙයි පෙනුනෙ. අර යුවතියට උදවු කරපු භික්ෂුව ඒ වැඩේ අහවර කොරල බලන කොට කේන්ති ගිය භික්ෂුව හුඟක් දුර ගිහින්. උදවු කරපු භික්ෂුවත් අපහසුවෙන් උනත් තමන්ට හැකි පමණ වේගයෙන් ගිහින් තමන්ගෙ හිතවත් භික්ෂුවට එකතු උනා.......
 භික්ෂූන් දෙදෙනා රාති‍්‍රයේ නවාතැන් ගත් පන්සලට යන තෙක්ම අර කේන්තියෙන් හිටපු භික්ෂුව අර යුවතියට උදවු කරපු භික්ෂූන් වහන්සෙ සමග කතාවෙන් වැළකී සිටියා. පන්සලට ගිහිව් ගමන් වෙහෙස නිවාගෙන අනිකුත් අවශේෂ කටයුතු අහවර වෙනකොට, අර කේන්ති ගිය භික්ෂුවට තවදුරටත් නිහඬතාවය රැකගන්ට බැරි උනා. “අපි හාමුදුරුවරු. සියළු දේ අතඇරල ශාසනේට ඇවිත් තියෙන්නෙ විමුක්තිය උදාකරගන්ට. ආසාවන් අතඇරල ඉන්න අපි ‍වගේ අය කාන්තාවන් ළඟට යන්න හොඳ නෑ. ඒ කාන්තාවන් රූමත් වගේම තරුණ වයසෙ උදවිය උනාම උදවු කරන අවස්ථාවක් උනත් දුර දිග ගිහින් භයානක ප්‍රතිඵල අත්වෙන්ට පුළුවන්” උන්වහන්සෙ පවසා සිටිය. “ ඇත්තටම ඇයි ඔබ ඒ වගේ දෙයක් කළේ?” උන්වහන්සෙ අර උදවු කරපු භික්ෂුවගෙන් ඇහුවෙ හොඳටම තරහ ගිහින්........

මේක අහපු අනිත් භික්ෂුව කරුණාවන්ත සිනහවක් පහල කලා. “මම නම් ඒ ගෑනු ළමයා එතැන තියලයි ආවා. ඒත්........ ඔබ වහන්සෙ තාම එයාව ඔසවගෙන ඉන්නවද?” උන්වහන්සෙ උත්තර දුන්නා.........

හරි. දැන් අතීත කතාව මෙතනින් ඉවර උනත්, ඇත්තටම මේ වගේ කතාවකින් අපිට ගන්ට පුළුවන් ආදර්ශ බොහොමයක් තියෙන බවයි මගේ අදහස. කරුණාවන්ත බව, පරෝපකාරය වගේම අනිත් අයගෙ අදහස් ඉවසා දරාගැනීමත් මේ කතාවෙ කියවෙන අදහස්. ඒ වගේම වැඩකට නැති විකාර අදහස් ඔවවෙ තියාගෙන ඉන්න එක මොන තරම් අර්ථ ශූන්‍යද කියලත් මේකෙන් පැහැදිලි කරල දෙනවා.

ඉතින් අපිටත් අපේ ජීවිත අර්ථාන්විත කරගන්ට මේ වගේ කතා ලොකු උපකාරයක් කරන බව කිසිම විවාදයක් නැතුව පිළිගන්ට පුළුවන්.



Thursday, April 18, 2013

මගේ ලෝක චාරිත්තර

දැන් වෙලාව රෑ 9.30 ත් පහු වෙලා. මට හරිම මහන්සියි. අද ගෙදර එනකොට අටහමාරට ඔන්න මෙන්න. ආපු ගමන් නෑවා. නාපු ගමන් කෑව. ඔන්න මම දැන් මෙතන මගෙ කොම්පියුටරේ ඉස්සරහ........
දැන් ටිකකට කලියෙන් මම බැළුව හොඳ වීඩියෝ එකක්. ඒකෙ තිබුණෙ කණ්නාඩි හදන හැටි ගැන. කණ්නාඩි වල ක්‍රියාකාරීත්වය ගැන සෑහෙන තරම් හොඳ දැනුමක් මට තියෙනව මගෙ අධ්‍යාපනේට පින් සිද්ධ වෙන්න. ඒත මම ‍කණ්නාඩි හදන හැටි දැක්කමයි. ඒ වීඩියෝ එක තිබුණෙ මූණු පොතේ. මම ඒකෙ link එක දාන්නම්. ඒත් හැමෝටම බලන්ට පුළුවන් වේවිද දන්නෙ නෑ. මේක තියෙන්නෙ විදු ලොවින් කියල පේජ් එකක. මෙන්න ඒක. http://www.facebook.com/vidu.lowinref=stream&hc_location=stream#!/photo.php?v=118833721646038&set=vb.524067577639051&type=2&theater
මේ පේජ් එක කරන කෙනාට ඇත්තටම සම්මානයක් දෙන්ට වටිනව අප්ප. නැද්ද මං අහන්නෙ.... මූණු පොතට වෙලා අනිත් මිනිස්සුන්ට මඩ ගහන නිකම්ම නිකම් නිකමෙක් වෙනවට වැඩිය, අපේ දැනුමට තවත් මොනවහරි නොමිලෙම එකතු කරන්ට ඩිංගක් හරි මහන්සියක් ගත්ත මේ වගේ අයට අපේ අය එකතු වෙලා සම්මානයක් දෙනවනම් තමයි හොඳ....
අද අපේ ලේකම් කාර්යාලෙ අවුරුදු පාටියක් තිබුණ. පුදුමෙකට වගේ අපේ ලොක්කත් ආවනෙ ඒකට. ලොක්ක කියන්නෙ ඉතින් රටේම ලොක්ක තමයි. හැබැයි ඉතින් මනුස්සය වැඩි වෙලාවක් හිටියෙ නෑ. ඉක්මනට ගියා. අපිට වගේයැ. වැඩ ඇති ඕනෙ තරම්. පාටි වෙලාවට අපි වැඩ නෑ. පාටිනම් පාටි....... වැඩනම් වැඩ.... වා නම් වා. පෝ නම් පෝ. Come or go Chicago කීවලු. දෙමළ දන්නෙ නැති හින්ද තමයි ඒ ටික සිංහලෙන් දැම්මෙ. දෙමළ ඉගෙන ගන්ට ආසයි. මම දෙපාරක්ම ටික ටික උත්සාහ කළා. ඒත මොකක්දෝ අවාසනාවකට ඒක මගඇරුනනෙ. කරුමෙ කියවන්නෙ ඒ අවස්ථා දෙකම මට නොමිලෙම හම්බඋන අවස්ථා. කරුමෙ පළ දෙනවනම් කොහෙ හිටියත් පළ දෙනව.
මම ලියන්ට ගියාම වටේ යනව වැඩිද මන්ද. හිතේ තියෙන දේම නෙවෙයි ලියවෙන්නෙ. කොහොමහරි ඔන්න අපි හිතේ හැටියට පාටිය භුක්ති විඳල ආව. මොනවද ඉතින් කන්ට දෙනවනම් බැහැ කියන සිරිතක් අපේ නැහැ. හැබැයි ඉතින් දවල් බත් එක තිබුන හින්ද කෑම ගැනීමනම් සීමාසහිතව තමයි කළේ....! අපේ Branch එකේ පාටිය නම් 22. මමනම් යන්නෙ නෑ ඕවට. මම එදාට නුවර යන්ට දාගත්තනෙ. මගේ හාමිනේ (වෙන්ට ඉන්න හරිද... ) නම් ඉතින් කෑ ගහනව 22 නුවර යන්ට එපා කියල. මොකද ඉතින් එදාට එයාට යන්ට බෑනෙ. (හික් හික් හිකිස්. තව එක සැරයක් තනියම නුවර යන්ට ඇත්නම් කොච්චර ෂෝක්ද අනේ.) එයාට මේ දවස්වල exam හින්ද ගෙදරම තමා. මම හිතාගත්තොත් අනිවාර්යයෙන්ම යනව කියල දැන්නම් ඉතින් මොනම හේතුවකටත් මාව නවත්තන්ට බෑ. මම කීවොත් කීව. ජම්මෙට වඩා මගෙ පුරුද්ද 
කොහොමටත් ලොකුයිනෙ. මම එයාට කීව
exam ඉවර වෙලාම අපි ආයෙ හම්බවෙමු කියල. එයාගෙ exam ඉවර වෙන්නෙ මැයි 18. මම එදා උදේ දළදා වඳින්ට ගිහින් exam ඉවර වෙන වෙලාවට එතනට එන්නම් කියල පොරොන්දු උනා. දැන් මේකි හිතනවද දන්නෙ නෑ මම මේ මාසෙ 22 නුවර ගිහින් මැයි 18 වෙනිද එයාව බලන්ට එන්නෙ නැතුව ඉඳීවි කියල. මොනව උනත් නුවර යන එකයි එයාව බලන්ට යන එකයි ලෝක චාරිත්තර වගේ කරන්ට ඕන දෙයක් තමයි.

Tuesday, April 16, 2013

ජම්මෙට වඩා ලොකු මගේ පුරුදු



ඔෆිස් එකට වෙලා කම්මැලිකමේ ඉන්නවට වඩා මොනවහරි ලියන එක හොඳයි කියල හිතුන නිසා තමා මේ කොටන්න ගත්තෙ. ඒකෙත් පුදුමෙ කියන්නෙ ඉතින් උදේ 8.14 ට ඔෆිස් එකට ආපු මට කම්මැලිකම දැනුනෙ දැන්නෙ......... පිස්සු හැදිල ආයෙත් හැදෙයි එහෙනම්.  මගෙ අම්මෝ.... ඒ තරමට වැඩ ගොඩගැහිල නෙවෙයි.  උදේ ඉඳලම කම්මැලිකමේ හිටියට දැන් තමයි මොනවහරි ලියන්ට හිතුනෙ.

අද උදේම නැගිටලා ඔෆිස් ආවා නොවැ අළුත් (දවස් 106 පරණ) අවුරුද්දේ හා හා පුරා කියල. හිකිස්..... අනේ ඉතින් උදේ පාන්දරින් ගෙදරින් එන්ට හිතාගෙන හිටියට ඩිංගක් පරක්කු උන නිසා මම හිතුවෙම ෆවුසිය මගඇරෙයි කියල. ෆවුසි කීවෙ අර කැබිනට් එකේ ඉන්න කෙනා නෙවෙයි හරිද. ඒත් දෙයියනේ කියල අපේ රටේ දුම්රිය සේවයේ කාර්යක්ෂමතාවයට පින්සිද්ධ වෙන්න 7.12 ට එන්ට තියෙන ෆවුසිය 7.30 ට අපු නිසා අවුලක් නොවී මටත් ඒකෙ එන්ට පුළුවන් උනා. ඒක නිසා ෆවුසියෙම මහලේකම් එකට එන්ට පුළුවන් උනා.

අවුරුදු කියල විශේෂයක් දැනුනෙ නැති උනාට මොනවහරි කන්ට තියේවි කියලනම් මම දැනගෙන හිටිය. lol කෑම කීවොත් ඉතින් අපිට ඉතින් වෙන මොනවත් ඕනෙ නෑනෙ. කෑමටම උපන් ජාතියක්නෙ. ... ඒත් කිසිම සංවිධානාත්මක බවක් තිබුණෙ නැති නිසා මම මොනවත් ගෙනිච්චෙ නෑ. ඇත්තටම අම්මට කියල කේක් එකක් හදවගන්ටනම් ආසාවක් තිබුණ. ඒත් ඉතින් මෙලෝ සිහියක් තිබුණෙ නැනෙ ඊයෙ. ඒක නිසා කේක් ආසාව අතඇරගන්ට උනා. ඒ උනාට ඔෆිස් එකේදි උදේ තේ මේසෙට කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම් ආදී එකී නොකී මෙකී කෑම ජාති ගොඩක් තිබුණ. අපි ඕව ගේන්ට හිත හිත ඉන්නකොට අපේ කාන්තා පාර්ශවයනම් ඒ සිතුවිලි ප්‍රායෝගික කරගෙන තිබුණ. මේක අපේ Official විදියට සංවිධානය කොරාපු පාටි එකක් නෙවෙයි. හේතුව නම් මම නොදනී. දෙයියොත් දන්නවද දන්නෙ නෑ.

ඕන් ඒ අස්සෙ නිවුස් එකක් එනව අපේ අවුරුදු පාටිය තියෙන්නෙ 22 කියල. හප්පේ මොකද මේ ඒ තරමට කල් ගිහිල්ල. සඳුද දවසක්ම ඕකට ඕනෙද ඇත්තටම ඈ... ඒකෙ කිසිම විශේෂ ගතියක්නම් නෑ. ඒත් පොඩ්ඩක් හෝව්............. හපොයි දෙයියනේ මම නුවර යන්ට හිටියෙ 22 නෙ. හත් ඉලව්වයි. දැන් මොකද කරන්නෙ. ම්ම්ම්... දැන් මොකද කරන්නේ? පාටියට ඉන්නවද නැත්නම් නුවර යනවද දෙකෙන් එකක් තීරණය මටම තමයි ගන්ට වෙන්නෙ. මේ අවුරුද්දටම තාම මාලිගාවට ගිහින් එන්ට බැරි උනා නෙව. අන්තිමට ගියේ කවදද බලමු. මට මතක හැටියට ගිය නොවැම්බර් දෙවෙනිද. නුවරත් ගිහින් අනුරාධපුරෙත් ගිහින් එන්ට උනේ.

හපොයි දෙයියනේ.......  ඒ කියන්නෙ මගෙ හොඳ පුරුදු සෑහෙන්ට වෙනස් වෙලා කියන එකනෙ. වෙන අවුරුදු වලනම් මේ වෙනකොට දෙපාරක්වත් මාලිගාවට ගිහින් ඇවිත්. මේ අවුරුද්දෙ එක වතාවක්වත් නෑ. මොකද කරන්නෙ. කෑම ටිකක් හින්ද මගෙ පුරුද්ද වෙනස් කරන්ට පුළුවනෑ. කමක් නෑ. ජම්මටෙ වඩා ලොකුයි පුරුද්ද.  එනි වෙඩිමක් කියල 22 නුවර ගිහින් එනවා. හිතපු දවසෙ යන්ට බැරි උනොත් ආයෙ කවද යන්ට පුළුවන් වේවිද දන්නෙ නෑ. පාටිනම් කවද ගන්ට බැරිද ඈ. මොකෝ 22 ඔෆිස් ආවෙ නෑ කියල මැරෙනවය. මගෙ නිවාඩුත් ඕන තරම් තියෙන්නෙ. පාටිවලට ගේන තෙල් කෑම කාල තව මහත් වෙනවට වඩා හොඳයි ඉතින් මාලිගාවට ගිහින් පිනක් දහමක් කරගෙන එනව.

Monday, April 15, 2013

ජීවිතේ මගේ

අදනම් දවසම හොඳට වහීවි කියල හිතුන නිසා කොහෙවත් ගියෙ නෑ. ගෙදරට වෙලා හිටිය. අහස දකිනකොට බය හිතෙන තරම් කළුපාට වෙලා තිබුන වෙලාවලුත් තිබුණා. ඒ උනාට හිතපු තරම් වැස්සෙ නෑ. දැන් පැයකට විතර කලින්නම් හොඳටම ගොරව ගොරව වැස්ස. ඉස්සර මම බයයි අකුණු ගහන වෙලාවට විහිදෙන එළියට. ඉතින් ඒ වෙලාවට කරන්නෙ ඇස් වහගෙන එළිය පේන්නෙ නැති වෙන්ට අනිත් පැත්තට හැරෙන එක. ඒත් දැන් ඉතින් අකුණු ගැසීම පිළිබදව විද්‍යානුකූලව දන්න නිසා ඒ ගැන බයක් නෑ. චූටි එකා කාලෙ අපි කොහොමටත් ගොඩක් දේවල් වලට බයයිනෙ. දැනුත් ටිකක් විතර ගොරෝ මුත්තගෙ ගොරවන සද්දෙ ඇහෙනවා.

අපි රජයේ සේවකයො උන නිසා අද අපිට නිවාඩුයිනෙ. ඇත්තටම අපිට එහෙම නිවාඩුවක් දීපු එක ගැන රජයට අපේ ස්තුතිය පළ කරන්ට ඕනෙ අප්ප. ඊයෙ දවසෙ පාටි වලට ගිහින් ඩෝප් උනාට පස්සෙ අද දවසෙ පොඩ්ඩක් Rest කරන්ට කී දෙනෙක් හිතාගෙන ඉන්ට ඇත්ද. ඒ පිළිබඳව සලකල බලල අද රජයේ නිවාඩු දිනයක් කිරීම ගැනනම් අප්‍රමාණ සන්තෝසයි. ඕනෙනම් ඉතින් අදත් පාටි දාන්ට පුළුවන්. හෙටත් වැඩට නොගිහින් ඉඳල. හැබැයි හෙට වැඩට නොයන අයට තමන්ගෙ නිවාඩු ගන්ට වෙනව. ඉතිං මොකද ඔය 45ක්ම තියෙන්නෙ අත දිගෑරල වියදම් කරන්ට.

හවස අක්කා ඇවිත් ගියා. ගියා කීවට මම හවස ගෙනිහින් ඇරළුවා වැස්ස ගැන හිතන්නෙ නැතුව. මොනව උනත් ඉතින් මටම කියල සහෝදරියෙකුට ඉන්නෙ ඒකි විතරයිනෙ. මගෙ අනාගතේට කියල මම අරගත්ත Food Processor එක ‍දෙන්ට හැදුවම ඒකත් එපා කීව. එයාට වෙන මොකක්ද මන්ද අරන් දෙන්ටලු මගෙ කාඩ් එකෙන්. මමනම් ඒකට කැමති. ඒත් මේ දවස් වල මම laptop එකක් ගැන හීන මවන නිසා කාඩ් එකෙන් වියදම් කරන්ට ටිකක් විතර බයයි.

දැන් ටික ටික ගොරවන සද්දෙ වැඩි වේගෙන එනව. ඒක නිසා මේක ඉක්මනට ඉවර කරල දාලා ඉක්මනට නිදාගන්න එක මට වගේම computer එකටත් ගුණයි වගේ. අද කලින් නිදාගත්තම හෙට උදේම ඇහැරලා වැඩට යන්ට පුළුවන් නැත්නම් ඉතින් හෙටත් නිදිමරගාතෙම තමයි වැඩට යන්ට වෙන්නෙ.

හවස පන්සල් යන්ටත් අදහසක් තිබුණ. ඒත් බැරි උනානෙ. දැන් ඉතින් කරන්ට දෙයක් නෑ. ආය නිවාඩු දවසක් ආවම බලමුකො අම්මලවත් එක්කගෙන යන්ට ඕනනෙ. තාත්තටයි මටයි දෙන්නටම පුළුවන් දවසක් වෙන්ටත් ඕන. නුවර යන්ටත් ලොකු ආසාවක් තියෙනව. ඒත් මේ අපේ තාත්තලගෙ හරිහමන් උනන්දුවක් නෑනෙ. මුලදි හා කීවට පහු වෙනකොට බෑ කියනව. ඉතින් මේ මහදැනමුත්තව එක්කගෙන යන්ට වෙන්නෙ පුංචි එවුන්ව ඉස්කෝලෙ අරන් යනව වගේ බය කරල තමයි.


හැමදාම අවුරුදු

තවත් සිංහල සහ (හින්දු) නව වසරක අවසානය සනිටුහන් කරන මොහොතකටයි අපි මේ පැමිණ තිබෙන්නේ. මම මේ විදියට කියන්ට හේතුනම් ගොඩක් තියෙනවා.ඒත් ඉතින් මොනව ලියවෙයිද දන්නෙ නෑ. මම ඉන්නෙ ටිකක් නිදිමතේ. රෑට කෑවෙත් නෑ. (දවල් කාපුව දිරවලත් නැති එකේ මොකටද ඉතින් රෑට කන්නෙ නේද?) අප්‍රේල් 14 අවුරුදු දවස උනාට ඉතින් අද උදේ ඉඳල අපිට අනිත් දවස් 364 වගේ සාමාන්‍ය දවස්ම තමා ලැබෙන්නෙ. අළුත්අවුරුද්ද කියල අපි අප්‍රේල් 14 සමරන දේ මොකක්ද කියල මට ඇත්තටම හිතාගන්ට බෑ. මොකද මේ අපි කරන අහ්... වැරදුන අවුරුදු සමරන අය කරන දේ එක්තරා විදියකට සම්මත කරගත්තු දෙයක් මිසක් අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මම මේ කියන්නෙ මට හිතෙන දේ. මේකට අකමැති කවුරුහරි ඉන්නවනම් ඉතින් සොරි වෙන්ඩෝනෙ.



අප්‍රේල් 14 අළුත් අවුරුදු සමරන ගොඩ දෙනෙක් ජනවාරි 01 වෙනිදත් අළුත් අවුරුදු සමරනව කියල මම දන්නව. නැකැත් වෙලාවන් ටික නැති උනාට අප්‍රේල් 14 වෙනිදට තියෙන විශේෂාංග බොහොමයක් ජනවාරි 01 වෙනිදටත් අපේ ජීවිතේට ළං වෙනව.  මුලු ලෝකයම පිළිඅරගෙන සම්මත කරගෙන තියෙන විදියටනම් ඉතින් ජනවාරි 01 වෙනිද අළුත් අවුරුද්දක් උදාවෙනව. අවුරුද්දක් කියල කියන්නෙ දවස 365කටනෙ. ඉතින් යකඩෝ ජනවාරි 01 ඉඳල දවස 103 හො 104 විතර ගියාම ආයෙමත් අළුත් අවුරුද්දක් සමරන්නෙ මොකටද කියල මටනම් හිතාගන්ට බෑ. මේ දේවල් ගැන මගේ ළග විවේචනනම් බොහොමයක් තියෙනවා.  ඒත් අනේ දැන්නම් ඒගැන ලියන්ට බෑ. අපේ හාමිනේගෙන් ඇමතුමකුත් ආවා මේ දැන්. ඉතින් ඒවට උත්තර දෙන්ටත් ඕනෙ. නැත්නම් ඉතින් විසුමක් නෑ.

කොහොම උනත් ඉතින් අපේ අම්මනම් ඉතින් උදේම කිරිබත් එහෙම හදල තිබුනා. එයාලත් ඔය අවුරුදු සැමරීම මහා ඉහලින් කරන අය නෙවෙයි. ඒත් දෙයියනේ කිරිබත් තියෙද්දිත් නොකන මෝඩය කවුද කියල හිතල උදේ 7 වෙන්ටත් කලින් මම ටිකක් දෙසා බෑවා. මොකද දන්නවද අම්ම හදන කිරිබත් කෑලි අහක්කකරල තියන්ටත් තැනක් ඕනනෙ. මම ඉතින් මගෙ බංඩි ගෙඩියෙ ටිකක් අහුරල තිබ්බ. හික්.... ඒව පස්සෙ ගන්ට බැරි එකනම් වෙනම කතාවක් හොඳද. මම හිතන්නෙ ආහාර අනුභවය කරන නැකතට තව වෙලාව තිබුන. ඒත් අප්පේ කවුරුවත් හදපු නැකතකට මගෙ බඩ පුරවගන්නවට වඩා මට බඩගිනි වෙලාවට මගෙ බඩ පුරවගන්න එක තමයි මගෙ පුරුද්ද. අපේ හාමිනේගෙ ගෙදරනම් මේ චාරිත්තර ටික බොහොම හොඳට කරනව කියල තමා ඒ ඇත්තිනම් කීවෙ. උදේ පාන්දරම ඒ ගැන ලොකු වාදෙකුත් ගියා අපි අතරෙ. ඒත් අනේ ඒකටත් ‍මගෙ ෆෝන් එකේ විනාඩි ගාන අඩුකරගන්ට ඔන නෑ කියල මම ඒක ඉක්මනට ඉවර කළා. හම්ම්..... දැන්නම් හරි මහන්සියි අප්ප. ඒත් ඉතින් පටන්ගත්ත වැඩේ ඉවරයක් කරලම ඉන්ට ඕනනෙ.


අවුරුදු හින්ද වෙන්ට ඇති මයෙ හිතේ........ අපේ හිච්චි පුංචිලගෙ ගෙදර පොඩි පාටියකුත් තිබුණ. පොඩිමත් නෑ ඒක........ ලොකු පාටියක පොඩි පැටියෙක් වගේ. අම්මට පුංචි කලින්ම ආරධනා කොරල තිබුණ දවල්ට එහේ කෑමට එන්ට කියල. ගිහින් බලනකොටනේ අප්පේ දන්නෙ. පුංචි එයාගෙ අනිත් සහෝදර කණ්ඩායමටම එන්ට කියල. ඉතින් අද කටිටය සෙට් උනා. දන්නැද්ද ඉතින් කෑමට කලින් කෑම දිරවන්ට උදවු වෙන මොනවහරි ගන්ටත් ඕනනෙ. ඒත් ඉතින් මමනම් අනුමත වෙන්ට ගියෙ නෑ. හේතු දෙකක් තිබුණ. අංක එක තමයි මම අනුමත වෙන්ට පාවිච්චි කරන වර්ග එහේ නොතිබුණ එක. බාප්ප මගෙන් කලින් ඇහුවෙ නෑනෙ. ඔය කීවට කවදාවත් අහල නෑ. අංක දෙක තමයි අම්ම, ආච්චි, පුංචිල දෙන්න වගේම ළමා ළපටි පිරිසත් ඒ අහල පහලම ඉඳීම. ඒ අයට පේන එක හොඳ නැති නිසා මම ඕවට ගියෙ නෑ. තාත්ත, බාප්පලනම් උඩ තට්ටුවෙ වෙනම සෙට් වෙච්ච නිසා අවුලක් උනේ නෑ. කොහොමහරි උදේ 8 ට විතර ගෙදරින් ගිය අපි ගෙදර එනකොට හැන්දෑවෙ 6.30 විතර ඇති. දවල්ට කෑවෙත් තුනහමාර පහුවෙලා. ඒක නිසා තමයි රෑටත් කෑම එපා උනේ.



අවුරුදු කොහොම උනත් ඉතින් ලක්වාසී හැම දෙනාටම හැමදාකම කිරි පැණි ඉතිරෙන ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්ට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනව. ඒකට ඉතින් අවුරුදු එන්ටම ඕනෙයැ නේ ද,.. අර කවුද කීව වගේ ඉතින් මේ විදියට හිතාගෙන ජීවිතේ සාර්ථක කරගන්න එක තමා හොඳම දේ කියල මම හිතන්නෙ.

“සල්ලි ඇත්නම් අපිටත් හැමදාම අවුරුදු තමා...................!

Saturday, April 13, 2013

විරාමයකින් පසු

ඔන්න ආවා මම ආයෙමත්. ටික දවසක් මේ පැත්තට එන්ට බැරුව හිටියෙ. මගෙ Computer රාජයා අසනීප වෙලා හිටිය හින්ද. සෑහෙන්ට අමාරු උනානෙ එයාව ගොඩ දාගන්ට. ඒත් අන්තිමේ බලනකොට බොහොම පුංචි අපි ගනන් ගන්නෙවත් නැති හේතුවක් තමයි අසනීපෙට මුල. Office එකේ ඉන්නකොට මම වැඩිය මේ පැත්තෙ එන්ට කැමති උනේ නෑ. මේව type කරනකොට එක එකා ට පෙනෙයි කියල බයට. Type කරල ඉවර උනාට පස්සෙ දැක්කට කමක් නෑ blog එකේදි. ඒක නිසා blog එක පැත්තෙ එන එක අඩු කරලයි තිබුනෙ පහුගිය දවස් වල.  අනිත් එක office එකේ වැඩ කරන අස්සෙ මේක කරන්ටත් අමාරුයි ටිකක්. ඒකෙ සද්ද වලටයි වැඩ කෙරෙන හැටියටයි ඉතින් ඔලුව අවුල් වෙනව. ඒක හින්ද ඉවසගෙන හිටිය. පෙරේද තමයි Computer එකේ ලෙඩේට හේතුව හොයාගත්තෙ. ඊයෙ රෑ තමයි ගොඩ දාන්ට පටන්ගත්තෙ. අද තමයි ඉවර උනේ. Computer රාජයා දැන් ඉතින් බබා වගේ වැඩ.
 


Computer එක ගොඩ දැම්මට පස්සෙ ඉතින් සිංදුවක් කාරිය අහල, චිතුපටියකුත් බලල, නවකතාවකුත් කියවල අහවර කරල, අන්තිමේදි මූණු පොතේ chat එකක් දාගෙනත් හිටිය. තාමත් chat එකේ යාලුව ඉන්නව. දැන් උන්දැ මම එනකන් බලාගෙන ඇති. ලියන්ටනම් ඉතින් ඕනෙ තරම් දේවල් තියේ. ඒත මටනම් දැන් හොදටම නිදිමතයි. 10 වෙනකොටවත් නිදාගන්ටයි මගෙ උත්සාහය. අපේ හාමිනෙත් හැම වෙලාවෙම කියනව නිදිමරන්ට එපා කියල. අපොයි දෙයියනේ මම නිදිමරන හැටි එයා දන්නවනම් ඉතින් මේ වෙලාවෙම ඇවිත් නැලවිලි ගී කියල මාව නිදිකරවයි. ඒත් ඉතින් තවම එයාව මෙහෙ ගේන්ට ඕනෙ කරන නීතිමය බැඳීම හම්බුනේ නැහැනෙ. හම්බුනාම බලමුකො ඉතින් නැලවෙන තාලෙ නේද??????